ප්‍රවෘත්ති සහ වැඩසටහන්‍  

 

 


 
 
   
  
  
  
2009 - 2010 මහ කන්නයේ සියළුම වී වගා කරන ප්‍රදේශවල දුඹුරු පැළ කීඩෑ උවදුර සීඝ්‍රයෙන් පැතිරී යමින් පවතී

දුඹුරු පැළ කීඩෑ උවදුර (Brown Planthopper)

විද්‍යාත්මක නාමය - නිලපාවාටා ලුජන්ස් Nilaparvata Lugens (Stal)

2009 - 2010 මහ කන්නයේ සියළුම වී වගා කරන ප්‍රදේශවල දුඹුරු පැළ කීඩෑ උවදුර සීඝ්‍රයෙන් පැතිරී යමින් පවතී

හානිය

කීඩෑවන් ආක්‍රමණය වූ පැළ පළමුව කහ පැහැයක් ගන්නා අතර ගහණ මට්ටම් වැඩිවීමත් සමඟ කීඩෑ පිලිස්සීම් තත්ත්වය ඇති වේ. දුඹුරු පැළ කීඩෑවා කඳ මත වසා යුෂ උරාබීම නිසා මේ කීඩෑ පිළිස්සීමට අමතරව තෘණාකාර කුරුවීම, කඩමළුවන් කුරුවීම හා මලානික කුරුවීම යන වෛරස් රෝග බෝකරන වාහකයා ලෙසද ක්‍රියා කරයි.

ජීවන චක්‍රය

ගොයමට පළමුව සංක්‍රමණය වන සුහුඹුලා විසින් පත්‍ර කොපු හෝ මැද නාරටි තුල බිත්තර 300ක් පමණ කැදලි වශයෙන් තැම්පත් කරයි. දින 7-9ක බී‍ජෞෂණ සමයකින් පසුව ශිෂුවන් බිහිවේ. ශිෂු අවස්ථා පහක් ඇති අතර ඒ සඳහා දින 13-15ක් පමණ ගතවේ. පළමු අවධියේ ශිෂුවන් සුදු පැහැ වන අතර පසු අවස්ථා දුඹුරු පැහැ ගැන්වේ.

පාලනය

ප්‍රතිරෝධී වී ප්‍රභේද භාවිතය - (බී.ජී. 369-2, බී.ජී. 403, බී.ජී 352, බී.ජී. 357, බී.ජී. 300, බී.ජී. 304)

වගාව නොකඩවා සුපරික්ෂාවට ලක්කිරීම හා ක්ෂේත්‍රයේ ජල පාලනය

අවශ්‍ය අවස්ථාවල පමණක් නිර්දේශිත කෘමිනාශක යෙදීම - වැඩුණු දුඹුරු පැළ කීඩෑවන් හා ශිෂුවන් එකතුව පඳුරු දමන අවධියේ පඳුරකට 5-8ක් හෝ වර්ධනය වූ පඳුරකට නම් 8-10 ක් 10ට වඩා වැඩිනම් කෘමිනාශක යෙදිය යුතුය. දියර කෘමිනාශක ශාකයේ පාදස්ථ කොටසට වැදීමට සැලැස්විය යුතුය. කැට යෙදීමට පෙර ජලය බැස්සිය යුතුයි.

දුඹුරු පැළ කීඩෑවා මර්ධනයට භාවිතා කරන කෘමිනාශක

පොදු නම වෙළඳ නාමය දිය කල යුතු ප්‍රමාණය හෙක්ටයාරයකට යෙදිය යුතු ප්‍රමාණය
නොවලුරෝන් 100g/1ECරිමෝන් මිලි ලීටර් 10/ලීටර් 10 මිලි ලීටර් 400
ෆිප්‍රොනිල් 500g/1SC රිජන්ට් මිලි ලීටර් 15/ලීටර් 10 මිලි ලීටර් 450
ඇසටමිප්‍රිඩි 20%SP මොස්පිලාන්15g/10L400g
එතොපෙන්ප්‍රොක්ස් 100g/1ECට්‍රෙබෝන්මිලි ලීටර් 15/ලීටර් 10 මිලි ලීටර් 500
කාබොසලෆාන් 200g/1SCමාෂල් මිලි ලීටර් 25/ලීටර් 10 මිලි ලීටර් 1000
තයෝමෙතොක්සාන් 25%1WG ඇක්ටාරා3g/ලීටර් 10 120 - 135g
ඉමිඩොක්ලෝප්‍රිඩ් 200g/1SL ඇඩ්මයර්මිලි ලීටර් 4/ලීටර් 10 මිලි ලීටර් 200
ෆනෝබියුකාබ් 500g/1EC මැක්කාබ්මිලි ලීටර් 35/ලීටර් 10 මිලි ලීටර් 1400
තයෝසයික්ලාම් 50% SP එවිසෙට් - S 8g/ ලීටර් 10 1000g
තයෝසයික්ලාම් 0.4% GR එවිසෙට් - 4G -25 Kg
ඉමිඩක්ලොප්‍රිඩ් 70% WG ප්‍රෙවාඩෝ1.5g/ ලීටර් 10 60g
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛණය 2009.09.30
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛණය 2009.09.30
දැයට කිරුල ප්‍රදර්නය 2010

පැළද එක කිරුළක් - නැවුම් හෙට දවසක්

62වන නිදහස් උත්සවය 2010.02.04 වන දින කන්දඋඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේ අභිමානයෙන් පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ය. එයට සමගාමීව පැවැත්වෙන දැයට කිරුල ප්‍රදර්ශනය පල්ලේකැලේ ගම්උදා භූමියේදී පැවැත්වීමට නියමිතය.

මෙය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන අතර 2010.02.04 දින සිට 2010.02.10 වන දින දක්වා පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විවෘතව පවතී. මෙය අක්කර 60ක භූමියක විහිදී ඇත.

මෙහිදී අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල ප්‍රදර්ශන කුටි ඉදිරිපත්කර ඇති අතර පෞද්ගලික අංශයේ ආයතන 300කට වැඩි ප්‍රමාණයක් දායකත්වය ලබාදී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය අක්කර තුනහමාරක භූමි භාගයක පැතිරී ඇති අතර එයින් පාසල් දරුවන්ට මෙන්ම නැරඹීමට එන සියළු දෙනාට නව තාක්ෂණය සහ සියළු බෝග මේ භූමියේ ස්ථාපනයකර දැණුම ලබාගැනීමට ඉඩ සලසා ඇත.

පැළද එක කිරුළක් - නැවුම් හෙට දවසක් සඳහා ඔබ සැමට ආරාධනා

 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කෘෂි පර්යේෂණ පිළිබඳ සාකච්ඡාව

දිනය - 2009.06.15

ස්ථානය - හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය ගරු හේමකුමාර නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නව පර්යේෂණ සොයාගැනීම් කෘෂිකර්ම ‍ක්ෂේත්‍රය තුල හඳුන්වා දෙමින් ගොවි ජනතාව අතරට ගෙනයෑම මෙම සාකච්ඡාවේ අරමුණ බව අමාත්‍යාංශ ලේකම්තුමා සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කරමින් ප්‍රකාශ කරන ලදී.

පශ්චාත් කෘෂිකර්ම උපාධි ආයතනය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජෛව ඉන්ධන, කාබනික ගොවිතැන, නව දෙමුහුම් බීජ නිෂ්පාදනය (මිරිස්, තක්කාලි බෝග) යන නව පර්යේෂණ ක්ෂේත්‍ර 03ක් පිළිබඳව එහි අධ්‍යක්ෂ විසින් කරුණු දැක්වීය.

ජෛව ඉන්ධන නිෂ්පාදනය:-

පිදුරු මඟින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරිමේ (බියුටනෝල්) ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලැබුණු පසුව එම තාක්ෂණය ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ විය. නිෂ්පාදනයේදී ඉතිරි වන ද්‍රව්‍ය ගොවිපළ පොහොරක් ලෙස යොදාගත හැකි වීම වාසියක් බව දක්වන ලදී.

උතුරු මැද පළාත තුල මෙම තාක්ෂණය යොදාගනිමින්, ජෛව ඉන්ධන කර්මාන්ත ශාලාවක් ඇතිකලහොත් ඉන්ධන ප්‍රවාහනයේදී ඇතිවන අධික වියදම අවම කරගෙන ගොවීන්ට සහනයක් ඇතිකල හැකි බව ගරු හේමකුමාර නානායක්කාර ඇමතිතුමා යෝජනා කරන ලදී.

කාබනික වගාව දියුණු කිරීම:-

කාබනික ගොවිතැන කරන ගොවීන් සඳහා සහතිකයක් ලබාදීමට යෝජනා විය. මොවුන්ගේ නිෂ්පාදන සඳහා වටිනාකමක් එක්කර (Value Addition) නිෂ්පාදන කාබනික නිෂ්පාදන ලෙස සහතිකයක් ලබාදී, අදාල ගොවියාගේ ඡායා රූපයක්ද සහිතව එම නිෂ්පාදන සුපිරි වෙළඳසැල්වලට අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමටත් යෝජනා විය. මේ සඳහා පශ්චාත් කෘෂිකර්ම උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨය ඒකාබද්ධ වී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බන ප්‍රකාශ විය.

(උක්ත කාර්යයේ සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා
අධ්‍යක්ෂ (ව්‍යවසාය සංවර්ධන හා පර්යේෂණ)

නව දෙමුහුම් බීජ නිෂ්පාදනය:-

නව දෙමුහුම් ප්‍රභේද (මිරිස්, තක්කාලි) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රභේද නිකුත් කිරීමේ කමිටුවට ඉදිරිපත් කරන ලෙසත්, පසුව පරීක්ෂණ වාර්තා මත ඒවා ගොවීන්ට නිර්දේශිත ප්‍රභේද ලෙස නිකුත් කළ හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කරන ලදී. ඉදිරි දිනෙක මේ පිලිබඳව ප්‍රභේද අභිජනන පර්යේෂකයන් හා සාකච්ඡා කිරීමටද තීරණය විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨ, පීඨාධිපති විසින් නව තාක්ෂණයන් 04ක් හඳුන්වාදෙන ලදී.

1. වී ගොවිතැන සඳහා TSP පොහොර වෙනුවට එප්පාවල රොක් පොස්පේට් භාවිතා කිරීම කාර්යක්ෂම කිරීම සඳහා බැක්ටීරියා විශේෂ 02 ක් මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇතිබව ප්‍රකාශ විය.

මෙහිදී TSP භාවිතය 50% කින් අඩුකර, ඒ වෙනුවට රොක් පොස්පේට් ආදේශ කර මෙම බැක්ටීරියාව මඟින් ආමුකුලනය කිරීම කලයුතු බවත්, මෙම ක්ෂුද්‍ර ජීවී මිශ්‍රණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදිය හැකි බවත්, එහිදී වැඩිදුර පර්යේෂණ මගින් තවදුරටත් තහවුරු වූ පසු නිර්දේශයන් ලෙස ගොවීන්ට හඳුන්වා දිය හැකි බව ප්‍රකාශ විය.

දැනට මෙය වියළි කලාපය සඳහා නිර්දේශ කල හැකි වුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එය අනෙකුත් පළාත් සඳහාද අත්හදා බැලීමට හැකි බවත්, මෙම මිශ්‍රණය පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ කමිටුවට ලිඛිත ඉල්ලීමක් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර අත්හදා බැලීම් සිදුකල හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන ලදී.

(සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා
අධ්‍යක්ෂ (කෘෂි ව්‍යවසාය සංවර්ධන හා පර්යේෂණ)

2. සුළු පරිමාණයේ වී වගා ක්ෂේත්‍ර සඳහා වල් පැළෑටි මර්ධන ක්‍රමයක් (ජපන් තාක්ෂණයක් ඇසුරින්) හඳුන්වා දී ඇති බවත්, මෙමඟින් වල් පැළෑටි පසට යට වීමත් නිසා පසට කාබනික ද්‍රව්‍ය ලැබෙන අතර වල් නාශක වලට යන වියදම රු. 2000/= කින් පමණ අඩු කරගත හැකි ක්‍රමයක් බව ප්‍රකාශ විය.

මෙම යන්ත්‍රය ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කිරීම සඳහා ලබා දිය හැකි බව ප්‍රකාශ විය.

3. අන්නාසි අපනයනකරුවන්ට/ දේශීය වගා කරුවන්ට ප්‍රශ්නයක්ව ඇති අන්නාසි වල මදය කුණුවීම (browing) වැලැක්වීම සඳහා අලුත් යෙදීමේ රටාවක් නව පර්යේෂණ ආශ්‍රීතව හඳුන්වා දී ඇති බව

දැනට අන්නාසි සඳහා පො‍හොර නිර්දේශයන්ට අමතරව, මූලික පොහොර සමඟ කැල්සියම් ඔක්සයිඩ් 15g ක් පළමුවද, ඊට පසු අවස්ථාවලදී මූලික පොහොර සමඟ කැල්සියම් ඔක්සයිඩි 7.5g ක් එකතු කිරීම කළ යුතුය.

මේ පිළිබඳව වාර්තාවක් අන්නාසි බෝග නායක, මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතාට යොමු කිරීමෙන් අදාල නිර්දේශය සමඟ කෘෂිකර්ම තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පසුව ගොවීන් සඳහා නව පොහොර නිර්දේශයන් ලෙස නිකුත් කිරීමට හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන ලදී.

(සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ මාකඳුර කෘෂිකර්ම පර්යේෂන සංවර්ධන ආයතනය)

4. ජලය අපිරිසිදු වී ඇති ප්‍රමාණය මැනීම සඳහා ඩිජිටල් දර්ශකයක් සහිත ඉතා නිරවද්‍ය, සූක්ෂම උපකරණයක් කෘෂි ඉන්ජිනේරු අංශය විසින් නිපදවා ඇති බවත්, මෙය අත්හදා බැලීමෙන් අදාල නිර්දේශ කිරීම් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ විය.

රුහුණු විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)

තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සමඟ ඒකාබද්ධ වී මාතර දිස්ත්‍රික්කය තුලින්, කෘෂිකර්ම පර්යේෂණ ආයනය සමඟ ඒකාබද්ධ වී ගාල්ල දිස්ත්‍රික්කය තුලින් බිම්මල් බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කර ගොවීන්ට නිෂ්පාදිත බීජ ලබා දීම සිදු කිරීමත්, දැනට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව බිම්මල් බීජ නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සිදුකරන බව ප්‍රකාශ විය.

මීට අමතරව, දකුණු පළාතේ සමෘද්ධි නිලධාරීන්/ කෘෂි ව්‍යාප්ති නිළධාරීන්ට තම කෘෂි දැනුම ලබාදීම, ගෙවතු වගා තරඟ පැවැත්වීම, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක් වී කුරුඳු පිළිබඳව පර්යේෂණ සිදුකරන බව ප්‍රකාශ කරන ලදී.

රජරට විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)

කාබනික පොහොර භාවිතා කර වියළි කලාපයේ වී ගොවිතැන පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, වී වගාවේ වල් මර්ධනය සඳහා ස්වභාවික ක්‍රම යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ, ක්ෂුද්‍ර පොහොර පිළිබඳ පර්යේෂණ, බිම්මල් බීජ නිෂ්පාදනය කර ගොවි ජනතාවට ලබා දීමේ වැඩසටහන්, ගොවීන්ට බිත්තර වී ලබාදීමේ වැඩසටහන්, සත්ව නිෂ්පාදනය පිළිබඳ දැනුම / තාක්ෂණය ගොවීන්ට ලබා දීම ආදී කටයුතු සිදුකරන බව ප්‍රකාශ කරන ලදී.

වයඹ විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)

කජු සංස්ථාව සමඟ ඒකාබද්ධව කජු වගාව නැංවීම පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කිරීම, නව කජු ප්‍රභේද 6 ක් හඳුන්වා දීම, මල් / විසිතුරු පැළ පිළිබඳ පර්යේෂණ, පළිබෝධ මර්ධන ක්‍රම පිළිබඳ පර්යේෂණ, මිරිස් / ගර්කින් වගාකරුවන්ට නව ප්‍රභේද හඳුන්වාදීම ආදී කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කරන ලදී.

Cd බැරලෝහයේ බලපෑම පිලිබඳ පර්යේෂණ

උතුරු මැද වකුගඩු රෝගීන්ගේ මරණ වලට හේතුව කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ජලය එකතු වන අතු ගංගාවල කැඩ්මියම් බැරලෝහය අන්තර්ගත වීම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

  • කැඩ්මියම් බැරලෝහයේ බලපෑම අවම කිරීම සඳහා ඒ මහතා විසින් පහන යෝජනා ඉදිරිපත් කරන ලදී
  • TSP පොහොර වෙනුවට එප්පාවල රොක් පොස්පේට් පොහොර හෝ කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කරවීම, නැතහොත් TSP පොහොර ආනනයේදී ඉතා අඩු Cd% පොහොර ආනයනයට සම්මත නීති පැනවීම, කලයුතු බව පෙන්වා දෙන ලදී
  • තන්තුමය ආහාර බහුල සමබල ආහාර වේලක් ගැනීම පිළිබඳ ජනතාවගේ ආහාර පරිභෝජන රටාව වෙනස් කිරීම. තන්තුමය ආහාර සමඟ ශරීරයේ ඇති කැඩ්මියම් මළ ද්‍රව්‍ය සමඟ බැහැර වන බවට ජනතාව දැනුවත් කිරීම
  • වැව්වල රොන් මඩ ඉවත් කිරීම. එමඟින් වැව්වල ධාරිතාවයද වැඩිවීම අමතර වාසියකි
  • උතුරුමැද පළාතේ ගොවීන් පාරිසරික ගොවිතැන් රටාවකට හුරු කිරීම පුරාණයේ පැවති තිරසාර ගොවිතැන් ක්‍රම, කෘෂි රසායන වෙනුවට කොහොඹ ඇට නිස්සාරණය රසායනික ද්‍රව්‍ය මිශ්‍රණය ආදී ස්වභාවික ක්‍රම ගොවීන්ට හුරු කරවීම, කොම්පෝස්ට් පොහොර භාවිතයට දිරි ගැන්වීම
  • මහවැලි ගඟට ජලය එකතු වන ප්‍රදේශවල ජල දූෂණය අවම කිරීමට, පරිසර අමාත්‍යාංශය හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය එකතු වී යම් පරිපාලනමය නීති පද්ධතියක් ඇතිකර ගත යුතු බව යෝජනා විය

බෝග සඳහා TSP පොහොර වෙනුවට SSP පොහොර යෙදීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවට පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇති බව ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා කරුණු දක්වන ලදී. තවද, එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිත කරගෙන පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇති වීමේ වැදගත්කමද තව දුරටත් අවධාරණය කරන ලදී.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම නව පර්යේෂණ ආශ්‍රිත නව දැනුම ලබාදීම තුලින් කෘෂිකර්ම ක්ෂේත්‍රය සිදුකරන මෙහෙවර පිළිබඳ ස්තූතිවන්ත වන බවට ගරු අමාත්‍යවරුන් ප්‍රකාශ කරන ලදී.

ගොවීන්ගේ ඉල්ලුම සපුරා දීමට බීජ ලබාදීමේ නොහැකි තත්ත්වයක් දැනට උද්ගතව පවතින බවත්, බීජවල පැළවීමේ ප්‍රතිශතය හා අස්වැන්න අඩුවීමේ ගැටළු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දායකත්වය ඉදිරියේදී අපේක්ෂා කරන බවත් ගරු කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.

ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ජෛව ඉන්ධන නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ ආශ්‍රිත නිල වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී. එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව නව පොහොර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ගරු අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.

කෘෂි රසායනික ද්‍රව්‍යවල අධික මිල ගොවීන්ට ප්‍රබල ගැටළුවක් වී ඇති බවත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ ආශ්‍රිතව මේ පිළිබඳව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග, අදහස් හා විසඳුම් පිළිබඳව සොයා බලන ලෙසට ගරු අමාත්‍යතුමා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.

(සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා
අධ්‍යක්ෂ (කෘෂි ව්‍යවසාය සංවර්ධන හා පර්යේෂණ)

වෙනත් කරුණු:-

විශ්ව විද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර පර්යේෂණයන් හුවමාරු කර ගැනීම සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් සකස්විය යුතු බවටත්, අදාල පර්යේෂකයන්ට ඒ සඳහා වැටුපට අමතරව වෙනත් දීමනාවක් ලබා දිය යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් විය. මේ පිළිබඳව දෙපාර්ශවය එකතු වී, සාකච්ඡා කර අදාල යෝජනාවලීන් වාර්තාවක් ලෙස සකස් කර භාණ්ඩාගාරයට යොමු කිරීම සඳහා අමාත්‍යාංශයට යොමු කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී.

මෙහිදී විශ්ව විද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්ට අමතරව, පෞද්. අංශයේ පර්යේෂකයන්ද යන ත්‍රීපාර්ශවය එක් කර මණ්ඩපයක් සාදා මාස 03 කට වරක්වත් රැස් වී තම පර්යේෂණ අත්දැකීම් / දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් පිළිබඳව ගරු කෘෂිකර්ම අමාත්‍ය හේම කුමාර නානායක්කාර මැතිතුමා විසින් යෝජනා කරන ලදී.

  • පැපොල් පිටි මකුණා මර්දනයට යොදාගත් පරපෝෂිතයා මඟින් පිටි මකුණා මර්දනය වීමට මාස 06 ක් පමණ ගතවන බවට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙන ලදී. අදාල පර්යේෂකයා මුදාහරින ලද ප්‍රදේශවල පිටි මකුණා නිසි පරිදි මර්දනය වී ඇද්ද යන්න පිළිබඳ ප්‍රගතිය ඇගයීම සඳහා විශ්ව විද්‍යාල සිසුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් යෝජනා කරන ලදී.

මෙම පර්යේෂකයා ස්ථාන කිහිපයක අභිජනනය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වන බැවින්, පරපෝෂිතයෝ අභිජනන කටයුතු සඳහා විශ්ව විද්‍යාලවල සහය ලබාගැනීමට තීරණය විය.

ජූනි 22 දා ආරම්භ කරන " ජාතික ආහාර සතිය " සඳහා විශ්ව විද්‍යාලවල සහයෝගය ලබාදෙන ලෙස ගරු අමාත්‍යතුමා ඉල්ලීමක් කරන ලදී.

  • මොරගහක්නද ජලාශයේ ඉදිකිරීම් ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා සහභාගී වන ලෙස,
    මෙම සාකච්ඡාවට සහභාගී වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අනෙකුත් දෙපාර්තමේන්තු ආයතනවල ප්‍රධානීන් හා නිලධාරීන්ට ගරු කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමා විසින් විවෘත ආරාධනාවක් කරන ලදී.

 


පළිබෝධනාශක භාවිතයට අදාල නව නීති රෙගුලාසි තුනක් හඳුන්වාදීමට යයි

පළිබෝධනාශක භාවිතයේ පවත්නා අනාරක්ෂිත බව තවදුරටත් තුරන් කිරීම සඳහා පළිබෝධනාශක භාවිතයට අදාල නව නීති රෙගුලාසි තුනක් මේ වසර තුල හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය තීරණය කර ඇත.

වේයන්, මකුනන්, මැස්සන් මර්දනය ආදිය වර්තමානයේ වඩා ප්‍රචලිත වී ඇති බැවින්ද ඒවා ප්‍රමිතිගත කළයුතු බැවින්ද පළිබෝධනාශක භාවිතා කරන්නන් පිළිබඳ නියෝග කිහිපයක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කෙටුම්පත් කරමින් සිටී. පළිබෝධනාශක භාවිතය පිළිබඳ පුහුණු කරන්නන් සම්බන්ධයෙන් නීති රෙගුලාසි මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළිබෝධනාශක පිළිබඳ පනත කඩකරන්නන් සඳහා මෙතෙක් අයකළ රුපියල් 10000 ක් දඩ මුදල ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට මේ වන විට කැබිනට් අනුමැතිය පවා ලැබී තිබෙන බවත් එය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තුව වේ.

පළිබෝධනාශක ඇසුරුම්වල සඳහන් උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පිළිබඳ ඉදිරියේදී අවදානය යොමුකිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

කෘමිනාශක, වල් නාශක ඇතුළු පළිබෝධනාශක භාවිත කරන්නන්ගෙන් 70% ක්ම අදාල නිර්දේශ භාවිතා නොකරන බවත් ඒ හේතුවෙන් ඉන් 82% ක්ම කිසියම් විෂවීමකට ලක්වන බවත් කෘෂිකර්ම දෙපාර්මේන්තුව කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එසේ නිර්දේශ භාවිතා නොකරන්නන්ගෙන් 20% ක්ම වාර්ෂිකව රෝහල් ගතවන බවද එම සමීක්ෂණයෙන් හෙලිදරව් වී ඇත. ලංකාවට වාර්ෂිකව පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 5000 - 6000 ක් අතර ප්‍රමාණයක් ආනයනය කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 40 000 ක මුලදලක් වැය වේ.

මේ පිළිබඳ යථා කාලයේදී විධිමත් පියවර ගැනීමට සහ නීති රෙගුලාසි හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

 


මුකුණුවැන්න වෙනුවට ඇලිගේටර් වල් පැලෑටිය වෙළඳපල ආක්‍රමණය කරයි


දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇති ඇලිගේටර් වල් පැලෑටිය 1999 දී ශ්‍රී ලංකාවේ බස්නාහිර හා දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයකින් හඳුනාගන්නා ලදී. මෙම ආක්‍රමණික ශාකය රූපීය ලක්ෂණ අතින් බොහෝදුරට මුකුණුවැන්න ශාකයට සමානකම් දැක්වීම නිසා සමහර ප්‍රදේශවල මෙම ශාකය පලා වශයෙන් වගා කරන ලදී.

මෙය මුකුණුවැන්න ශාකයට සමාන බහුවාර්ෂික ශාකයකි. ගොඩබිම සහ ජලජ පරිසරයෙහි වැඩෙන විෂ සහිත ශාකයකි. ජල මාර්ග ආශ්‍රිතව තෙතමනය හොඳින් ඇති කෘෂිකාර්මික බිම්වල ඉතා සරුවට වැඩේ. ජලජ පරිසරවලදී විශාල කුහරවලින් සමන්විත ධාවක කඳන් පුළුල්ව අතු බෙදෙමින් පැතිර වර්ධනය වන නමුත් මුකුණුවැන්න ක‍‍ඳෙහි කුහර නැත. ගොඩබිම වැඩෙන විට ක‍ඳෙහි කුහරය සාපේක්ෂව හීන්වන අතර මූල මණ්ඩලය පසේ ගැඹුරට හා පුළුල්ව වර්ධනය වේ. කොළ පැහැති මාංසල පත්‍ර දිලිසෙන ස්වභාවයක් ගනී. මුකුණුවැන්න පත්‍රවල දිලිසෙන ස්වභාවයක් නැත. ඇතැම් අතුවල කලාතුරකින් පුෂ්ප හටගන්නා අතර එය සුදුපැහැතිය, ගෝලාකාරය. දිග නටුවකින් ක‍ඳේ ගැටවලට සවි වී ඇත. මුකුණුවැන්න ශාකයෙහි පුෂ්ප ගෝලාකාර නැත. නටුවකින් සම්බන්ධවීමක්ද නැත.

මෙම ශාකය ජලාශ හා ඇල මාර්ග අවහිර කර පාරිසරික ප්‍රශ්න ඇති කරයි. මෙම වල් පැලෑටිය පසේ ඇති කැඩ්මියම්, කොපර් වැනි බැර ලෝහ උරා ගනී. ලංකාවේ වගාවලට බහුල ලෙස කෘමිනාශක හා දිලීරනාශක භාවිතා කරන අතර ඒවායේ ඇති බැර ලෝහ මෙම වල් පැලෑටිය අවශෝෂණය කර ගැනීමේ අවදානමක් ඇත. මෙම ශාකය ආහාරයට ගැනීමෙන් එම ලෝහ ශරීරයට ඇතුල්වීම නිසා මිනිසාට හා සතුන්ට රෝගාබාධ හට ගැනීමේ අවදානමක් ඇතිවේ. තවද එවැනි ශාක දේශීය ශාක ප්‍රජාව තුල ව්‍යාප්තවීම නිසා විශේෂයෙන් කඳුකර ජල පෝෂකවල ජෛව විවිධත්වයටද හානි පැමිණේ. මෙමඟින් සිදුවන හානිය එකක් නොව දාමයකි.

ඇලිගේටර් වල් පැලෑටිය වෙළඳපොලේදී ජලය යොදා ගනිමින් දින කිහිපයක් මැලවීමට නොදී කල් තබාගත හැකිය. එහෙත් මුකුණුවැන්න ශාකය දිනකට වඩාතබාගැනීම අපහසු වන අතර ඉක්මනින් මැලවීමට භාජනය වේ.

ඇලිගේටර් වල් පැලෑටිය නිවැරදිව හදුනාගැනීමට ඇල මාර්ග, වගුරු බිම් නිතර පරීක්ෂා කරන ලෙසටත් ඇලිගේටර් වල් පැලෑටිය මුල් සමඟ ගලවා පුලුස්සා දමන ලෙසත් සැක කටයුතු මෙවැනි වල් පැලෑටියක් දුටු විට ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින කෘෂිකර්ම උපදේශකට යොමුකරන ලෙසද වෙළඳපලින් මුකුණුවැන්න තෝරා ගැනීමේදීද ඉහත විස්තර කරන ලද තොරතුරු උපයෝගි කරගෙන නියම මුකුණුවැන්න තෝරා ගැනීමට කල්පනාකාරී වන ලෙසද මහජනතාවගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

උතුරු නැගෙනහිර පළාත් හි දේශීය කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහා විදෙස් ආධාර

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාතුමාගේ ඉල්ලීමට රටවල් රැසකින් සහයෝගය පළකෙරේ

ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන ක්‍රියාකාරීත්වය හමුවේ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන දේශීය කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමට රටවල් රැසකින් එකඟත්වය පළවී තිබේ. මෙතෙක් ත්‍රස්තවාදී උවදුර නිසා සංවර්ධන කටයුතු අඩාල වී තිබුණු නමුත් වර්තමානයේ සීග්‍ර ලෙස සංවර්ධනය වන උතුරු හා නැගෙනහිර පළාත්හි කෘෂිකර්ම සංවර්ධනය කෙරෙහි මෙහිදී වැඩි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.

මෙම කරුණු අනාවරණය වූයේ පසුගියදා ගලදාරි හෝටලයේ දී කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම ව්‍යාපෘති සඳහා ආධාර ලබාදෙන රටවල් හී තනාපතිවරු සහ ආධාර ලබාදෙන සමාගම් සම්බන්ධීකරණය කරමින් පැවති රැස්වීමේදීය. මෙම අවස්ථාව සඳහා චීන මහජන සමූහාණ්ඩුව, ඊජිප්තුව, ඉන්දියාව, මැලේසියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, නේපාලය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, කොරියාව, සවුදි අරාබිය හා කුවේට් රාජ්‍යය නියෝජනය කරමින් තානාපතිවරු ද මූල්‍ය ආධාර ලබාදෙන සමාගම් නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මෑත යුගයේ දැවැන්තම කෘෂි ව්‍යාප්තිය වන අපි වවමු - රට නගමු දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ ජාතික මෙහෙයුම පිළිබඳව කරුණු දක්වමින් එහි අරමුණ සහ ක්‍රමෝපායයන් පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සඳහා අපි වවමු - රට නගමු ව්‍යාපෘතිය ඔස්සේ පුළුල් දායකත්වයක් සැපයෙන අතර, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය හා එක් ගමක් එක් බෝගයක් ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති හරහා එයට මනා සහයෝගයක් ලැබී තිබෙන බව ද ඔහු අවධාරණය කළේය. මේ වන විට ජාතියක් ලෙස තමන් හමුවේ ඇති අභියෝගය වනුයේ මෙතෙක් ත්‍රස්ත උවදුරින් බැට කෑ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම බවත් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය මගින් එම ප්‍රදේශ කෘෂිකර්මාන්තයෙන් ඉහළ තලයකට ගෙන ඒම සඳහා පුළුල් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දෙන ලදී. ඒ සඳහා විදෙස් ආධාර සහ විවිධ සමාගම් මඟින් ලබාදෙන්නා වූ ආධාර මහගු පිටිවහලක් බවත් ඔහු පවසා සි‍ටියේය. එම නිසා ඉදිරියටත් එම රටවල් සහ සමාගම්වල සහයෝගය තමා අපේක්ෂා කරන බව ද හෙතෙම කරුණු දක්වමින් පැවැසුවේය.

උතුරු නැගෙනහිර පළාත්හි කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී අවතැන් වූ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතුකර තිබේ. මේ යටතේ යාපනය, මන්නාරම, වව්නියාව, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කයන් යටිතල පහසුකම් නැංවීම සඳහා රු. මි. 270 ක මුදලක් වැය වන බව ඇස්තමේන්තුකර තිබේ. එමෙන්ම ප්‍රදේශයේ වී වගාව ඉහළ නැංවීම, අනෙකුත් වගාවන් ඉහළ නැංවීම සහ පොහොර ගබඩා, ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන, බීජ ගොවිපල ස්ථාපිත කිරීමට යෝජිතය. වැලිඔය ප්‍රදේශයේ මහවැලි  L කලාපය ලෙස සංවර්ධනය කිරීමටද මෙහිදී පියවර ගෙන තිබේ.

මෙම සියළු සංවර්ධන කටයුතු සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ විදෙස් තානාපතිවරු ඇතුළු නියෝජිතයින් එකගත්වය ඵලකරන ලදී. මේ වනවිට විදෙස් ආධාර මත කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශ මඟින් ව්‍යාපෘති රුසක් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ අතරින් මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති දැනට සාර්ථකව ක්‍රියාත්මක මට්ටමේ පවතී. එමෙන්ම මේ වනවිට අනුමැතිය ලත් ව්‍යාපෘති රුසක් ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතී.

මෙම සියළු සංවර්ධන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවම කෘෂිකර්මාන්තයෙන් සුරක්ෂිත කිරීම හා ඒ ඔස්සේ දේශිය ආර්ථිකය සවිමත් කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ද අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

 

 

"අපි වවමු - රට නගමු" දේශීය ආහාර නිෂ්පාදනයට හා පාරිභෝජනයට දිරිදෙමින් ජාතික ගෙවතු වගා තරඟය මේ වසරේදිත් ඇරබෙයි

දේශීය ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කළ " අපි වවමු - රට නගමු " ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයමින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන ‍‍ගෙවතු වගා තරඟය 2008/2009 වර්ෂයේදී ද සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව මෙම තරඟයේ ප්‍රථිඵල නිකුත්කර ඇති අතර ජාතික මට්ටමේ ජය‍ග්‍රාහයකයින් පහත පරිදි වේ.

2008/2009 ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්

පෞද්ගලික ගෙවතු වගා තරඟය

1 වන ස්ථානය - ඩී.එම්. කරුණාදාස මහතා, මහියංගනය

2 වන ස්ථානය - ටී. එම්. ධර්මදාස මහතා, කුරුණෑගල

3 වන ස්ථානය - එස්. කරුණාරත්න මහතා, අනුරාධපුර

කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන්ගේ ආදර්ශ ගෙවතු වගා තරඟය

1 වන ස්ථානය - ආර්.එම්.පී.කේ. රත්නායක මහතා, මහමූකලන්යාය

2 වන ස්ථානය - ආර්.එම්.කාන්ති රත්නායක මිය, උඩුහාවර

3 වන ස්ථානය - ඩබ්. ඒ. රම්‍යා මල්කාන්ති මිය, තිඹිරිලස්කඩුව

රාජ්‍ය අංශයේ කාර්යාල ගෙවතු ආදර්ශන තරඟය

1 වන ස්ථානය - මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

2 වන ස්ථානය - මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

3 වන ස්ථානය - දොම්පේ ගොවිජන සේවා මධ්‍යස්ථානය

රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ පෞද්ගලික හෝ නිල නිවාස ගෙවතු වගා තරඟය

1 වන ස්ථානය - ආර්.එම් ඉන්ද්‍රලතා මිය, පොතුහැර

2 වන ස්ථානය - බී.ගජනායක මහතා, දෙහිඅත්තකණ්ඩිය

3 වන ස්ථානය - ජේ.ඒ. කරුණාතිලක මහතා, තඹුත්තේගම

පාසැල් ගෙවතු වගා තරඟය

1 වන ස්ථානය - හ/අභයපුර කණිෂ්ඨ විද්‍යාලය, ලුණුගම්වෙහෙර

2 වන ස්ථානය - ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය ග්‍රෙගරි පාර, කොළඹ 08

3 වන ස්ථානය - බ/සුජාතා බාලිකා විද්‍යාලය, බදුල්ල

පාසැල් ළමුන්ගේ ගෙවතු වගා තරඟය

1 වන ස්ථානය - ඒ.එම්. ඉයේෂා උමයංගනී, වදාකඩ

2 වන ස්ථානය - ඒ.ජේ.එම්. විශ්මි පූර්ණිකා, බිබිල

3 වන ස්ථානය - ඒ.එල්. මාධවී ලියන්දෙනිය, බලංගොඩ

මහජන නියෝජිතයින් වගා කරනු ලැබූ ගෙවතු

1 වන ස්ථානය - වීරසුමන වීරසිංහ මහතා, පිටබැද්දර

2 වන ස්ථානය - ඩබි.එම්.අයි.ජී. රණසිංහ මහතා, මැද දුම්බර

3 වන ස්ථානය - ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා, කෑගල්ල

මෙම ජයග්‍රාහකයින් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් දිස්ත්‍රික් ලේකම් මට්ටමින් පළාත් මට්ටමින්, හා ජාතික මට්ටමින් යන අදියර ගණනාවකින් තෝරා ගත් අතර ඔවුනට අදාල වටිනා ත්‍යාග සහ සහතික පත් 2009 ඔක්තෝබර් 11-16 දිනවල පොළොන්නරුව කදුරුවෙලදී පැවැත්වෙන ජාතික ගොවි සතියේ උත්සව වේදිකාවේදී පිරි නැමීමට කටයුතුකර ඇත.

සිය ග්‍රාමීය හා ස්වාභාවික පාරිසරික සම්පත් සුරැකීමෙන් හා කෘෂි ආර්ථික සංවර්ධනයට දායකවෙමින් ග්‍රාමීය ප්‍රජාව මෙන්ම, කෘෂිකාර්මික නාගරීකත්වයක් ඇති කරමින්, නගරය තුල කිසියම් ප්‍රතිශතයක් ආහාර නිෂ්පාදනය කර ගැනීම සඳහා දායක වෙමින් මෙම තරඟයට දැක් වූ දායකත්වය ඉතා ඉහළ තත්වයක පැවතුණි.

2009 / 2010 ගෙවතු වගා වැඩසටහන සඳහා අයදුම්පත් කැදවීමද ඉදිරියේදී සිදු කීරීමට කටයුතු සංවිධානයකර ඇති අතර පෙර වර්ෂවලදී මෙන්ම මෙවරද දේශීය කෘෂිකාර්මික නවෝදයේ කොටස්කරුවන් වීම සඳහා සහ ඔබගේ ගෙවත්ත ඵල බරින් සරුකර ගන්නට මෙම ගෙවතු වගා ජාතික තරඟයට එක්වන ලෙස කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍යාංශය ඔබ සැමට ආරාධනා කරයි.


උතුර සංවර්ධනයට බිත්තර වී යැවේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් බිත්තර වී බුසල් 1650ක් මේ සතියේ උතුරට යවන ලදි. එසේ යවන ලද බිත්තර වී ගොවීන් අතර බෙදා දී ගුණනය කිරීමටත් ඒ අනුව ස්වයං බිත්තර වී නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඊළග කන්නයේ සිට උතුරේ බිත්තර වී අවශ්‍යතාවය මෙම ස්වයං බිත්තර වී නිෂ්පාදන වැඩසටහන මඟින් සම්පූර්ණකර ලබාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

බී. ඩබ්. 351 ප්‍රභේදයෙන් බුසල් 1322, ඒ.ටී. 402 ප්‍රභේදයෙන් බුසල් 62 ක් ද ඒ.ටී. 353 බුසල් 21 ක්ද ඒ.ටී. 362 ප්‍රභේදයෙන් බුසල් 66 ක් ද සහතික කරන ලද වෙනත් බිත්තර වී බුසල් 79 ක් වශයෙන් බුසල් 1650 ක් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවය මත දැනට යවන ලදි. ඉදිරියේදි මීට වඩා ප්‍රමාණයක් යැවීමට අදහස් කර සිටී.

වවුනියාව, යාපනය සහ මන්නාරම, මුලතිව්, කිලිනොව්චි දිස්ත්‍රික්ක වල නැවත පදිංචි කෙරෙන ගොවි පවුල් සඳහා ගෙවතු සංවර්ධනයට රු. 5000 බැඟින් මූල්‍යාධාර පිරිනැමීමට කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර දැනට ඇති ගෙවතු යථාවත් කිරීමට එයින් බලාපොරොත්තු වේ.

එසේම පුරන්කුඹුරු අස්වැද්දීමට එම දිස්ත්‍රික්කවල අවතැන් වූ ජනතාවට හෙක්ටයාරයකට රු. 17500.00 ක් ලබාදීමට ද අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මේ අනුව ක්‍රමයෙන් මෙම උතුරේ ජනතාව ගොවිතැන් කටයුතුවල නිරත කරවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් බලාපොරොත්තු වේ.


උතුරේ කෘෂිකර්මාන්තය නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නව සැලසුම් අරඹනවා

ඇමති මෛත්‍රීපාල සිරිසේන

LTTE ත්‍රස්තවාදය හේතුවෙන් බිඳවැටී තිබූ උතුරේ කෘෂිකර්මාන්තය නැංවීමට නව සැලසුම් රැසක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාතික ආර්ථිකය ගොඩනැගීමේ පදනම ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසය තබා ඇත. ඒ අනුව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් උතුරු ප්‍රදේශයේද කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම තුලින් දේශීය නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කිරීමට හැකි බව සිරිසේන මහතා පෙන්වා දෙයි. අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතනවල මාණ්ඩලික නිලධාරීන් සමඟ පැවති විශේෂ රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්මාන්තය සඳහා උතුරේ ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බැවින් කළයුත්තේ ඔවුන් දිරිගැන්වීම සඳහා වන පහසුකම් සැලසීම පමණක් බවයි. ඒ අනුව නව සැලසුම් සකස් කරමින් එම ජනතාව අතරට යා යුතුය.

දශක කිහිපයක් රජයේ සෘජු පාලනයෙන් බැහැරව පැවතීම හේතුවෙන් එම ප්‍රදේශවල පවති න තත්වය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වී තිබේ. බිම් බෝම්බ ඉවත් කොට නැවත පදිංචි කිරීම් අවසන් කරන තෙක් මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළ නොහැකි තත්වයක් පවතී. එහෙයින් ආරක්ෂාව තහවුරු කර නැවත පදිංචි කිරීම් සිදු කරන ප්‍රදේශවල කෘෂිකාර්මික වටපිටාව පිළිබඳ මූලික සමීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ඒ ඒ ප්‍රදේශවල පවතින වගා ඉඩම් ප්‍රමාණය, වාරි මාර්ගවල තත්වය සහ කඩිනමින් නිරාකරණය කළයුතු වෙනත් ගැටලු හඳුනාගන්නා ලෙස ගොවිජන සේවා නිලධාරීන්ට දැනුම් දෙන්නැයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව එම ගැටළු වලට විසදුම් ලබාදෙමින් දැනට අමාත්‍යාංශය ආරම්භ කර ඇති ජාතික මට්ටමේ සියලු ව්‍යාපෘති උතුරු පළාතේ ද ව්‍යාප්ත කරන බව සිරිසේන මහතා කියා සිටියි.

" අපි වවමු - රට නගමු " ජාතික මෙහෙයුම මෙන්ම " එක් ගමක් - එක් බෝගයක් " වැඩසටහන ද කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ ජාතික සැලැස්ම ද උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. මීට අමතරව උතුරු වසන්තය දින 180 කඩිනම් වැඩ සටහනට සමගාමීව ද කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා වැඩසටහන් ආරම්භ කර තිබේ. වව්නියාව, යාපනය හා මන්නාරම ප්‍රදේශ වල නැවත පදිංචි කෙරෙන ගොවි පවුල් සඳහා ගෙවතු සංවර්ධනයට රු. 5000/- බැඟින් වූ මූල්‍ය ආධාර පිරිනැමීමට ඒ යටතේ පියවර ගෙන ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ද උතුරේ ජනතාව වෙත ආධාර පිරිනැමේ. අක්කරයට රු. 7000/- වශයෙන් මූල්‍යාධාර පුරන් කුඹුරු අස්වැද්දීමට ලබාදෙන බව සාකච්ඡාවේදී හෙළි කෙරිණ. අමාත්‍යාංශ ලේකම් එස්. අමරසේකර මහතා ඇතුලු නිලධාරීහු රුසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දඹුල්ලට බීජ අලෙවිසැලක්

විශාල වශයෙන් වෙළඳ කටයුතු සිදුවන දඹුල්ල නගරයට ආසන්නව පැල්වැහැර පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ බීජ අලෙවිසැලක් පසුගිය දා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජිනාදරී ද සොයිසා මහත්මිය විසින් විවෘත කරන ලදි. මෙම ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්ව තිබූ බිත්තර වී, එළවළු බීජ, වෙනත් ක්ෂේත්‍ර බෝග බීජ හා පැළ වර්ග ලබා ගැනීම ආදියට ස්ථානයක් නොමැතිවීම මේ නිසා සම්පූර්ණ වන අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන්, ගුණාත්මයෙන් යුත් බීජ, බිත්තර වී හා කෘෂිකාර්මික ප්‍රකාශන අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාව උදාවී ඇත.

විශාල වශයෙන් එළවළු වර්ග හා වෙනත් ක්ෂේත්‍ර බෝග වගා කරන ප්‍රදේශයක් වන දඹුල්ල හා අවට ජනතාවට විශාල වශයෙන් ඇදී එන මෙම නගරය ආසන්නයේ රජයේ බිත්තර වී, බීජ පැළ හා කෘෂිකර්ම ප්‍රකාශන ලබා ගැනීමට මධ්‍යස්ථානයක් පිහිටුවීම ගැන ගොවියෝ ප්‍රසාදය පළ කරති. විශේෂයෙන්ම දියුණු කළ නව එළවළු ප්‍රභේද රැසක් අලෙවියද ප්‍රදේශයට ගැලපෙන පළතුරු ප්‍රභේද රැසක් අලෙවියද ප්‍රදේශයේ බිත්තර වී ඉල්ලුම සැපිරීමටද මෙම බීජ අලෙවිසැල ආරම්භ කිරීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

ඔබට අවශ්‍ය බිත්තර වී, එළවළු බීජ, වෙනත් ක්ෂේත්‍ර බෝග බීජ, පැල වර්ග ලබා ගැනීම සඳහා පොළොන්නරුව දඹුල්ල මාර්ගයේ පැල්වැහැර මාර්ග ආසන්නයේ ඇති මෙම බීජ මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබා ගතහැකි අතර 066-2284831 දුරකථන අංකයෙන් විමසා අවශ්‍ය තොරතුරු ලබා ගතහැක.

මෙම අවස්ථාවට බීජ හා රෝපණ ද්‍රව්‍ය අධ්‍යක්ෂ කේ.ඊ. කරුණාතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන ජී.එම්.ඩබ්. චිත්‍රාල්, එම්.බී.එන්.ඩබ්.එම්.අත්තනායක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න සහ එච්.එම්.එස්.පී. හේරත් යන මහත්වරුද සහභාගි වූහ.


දිනෙන් දින වෙනස්වන ශ්‍රී ලංකාවේ වෙළදපල සහල් වල තත්ත්වය

පසුගිය අවුරුදු 35 තුළදී ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 30කින් වැඩිවී ඇත. (1973 දී කිලෝ ග්‍රෑම් 86.80, 2008 වර්ෂය වන විට කිලෝ ග්‍රෑම් 116කි.) ඉහළයන වෙළදපල සහල් ඉල්ලුමට අනුව පසුගිය වසරවල වී නිෂ්පාදනයෙහි ද සීඝ්‍ර වර්ධනයක් දක්නට ඇත. 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දශ ලක්ෂ 3.87ක් වන අතර එය 2007 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.

1980 දශකය හා එයට පෙර වෙළදපල සහල් වල තත්වය එතරම් සතුටුදායක තත්වයක නොතිබූ අතර සහල් කෙටීම පාරම්පරික ක්‍රමවලට සහල් මෝල් වලින් සිදුකරන ලදි. තම්බපු සහල් නිෂ්පාදනයේදී වැඩිපුර කාලයක් ජලයේ පෙඟවීම නිසා දුර්ගන්ධය ඇති වූ අතර පැහැයද අවපැහැවී පැවතුනි. ශ්‍රී ලංකාවේ වෙළදපල සහල් ශ්‍රේණිගත කිරීම සඳහා ලංකා ප්‍රමිති ආයතනයෙන් 1984දී කැකුළු හා තම්බපු සහල් සඳහා ශ්‍රේණි 4ක් හඳුන්වාදෙන ලදි.

එම ප්‍රමිතිවලට අනුව වෙළදපලේ ඇති සහල් කුමණ ප්‍රමාණ වලින් පවතීද යන්න විමසා බැලීම සඳහා 2000 වර්ෂයේ අනුරාධපුරයේ පසු අස්වනු තාක්ෂණ ආයතනය මඟින් පර්යේෂණ කෙරිණි. එම පර්යේෂණවලට අනුව වෙළදපලේ සහල් වල තත්වය ඉහළ ගොස් ඇති බව සනාථ වුවත් සහල්වල තෙතමන ප්‍රමාණය / සුනු සහල් ප්‍රතිශතය හා දුර්වර්ණ ඇට ප්‍රතිශතය යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමෙන් මෙයට වඩා තත්වයෙන් උසස් ගුණාත්මක සහල් වෙළදපලට හඳුන්වාදිය හැකි බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ඩී.පී.සී. ස්වර්ණසිරි මහතා පවසයි.

දිනෙන් දින වෙනස්වන වෙළදපල සහල්වල තත්වය


උතුර සංවර්ධනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගනී

උතුරු ප්‍රදේශය මුදාගෙන මාස දෙකක් යාමට ‍ප්‍රථම උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට පසුගියදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජිනාදරීද සොයිසා මහත්මිය ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු වව්නියාව හා මන්නාරම ප්‍රදේශවලට ගිය අතර ඒ අනුව ලබන මහ කන්නයේ සිට වගා කටයුතු ඇරඹිමට පියවර ගෙන තිබේ.

උතුරු ප්‍රදේශයට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය කිරීම මුරුන්කන් හි පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල මඟින් ආරම්භ කිරීමට පියවර ගැණින. මෙම ගොවිපලේ බිම් බෝම්බ ඉවත්කර ඇති බැවින් පහසුවෙන් බිත්තර වී නිෂ්පාදනය ආරම්භ කිරීමට හැකියාව ඇත. විශේෂයෙන්ම බී.ජී. 407 එච් දෙමුහුන් බිත්තර වී ප්‍රභේදය මගින් අක්කරයට වී බුසල් 280ක් පමණ අස්වැන්නක් එම ප්‍රදේශයේ ගොවීන් ලබාගන්නා බව හෙළිවූ බැවින් උතුරු ප්‍රදේශයට ගැලපෙන බිත්තර වී නිපදවීමට ප්‍රමුඛස්ථානය ලබාදේ. විශේෂයෙන්ම වී වගාව සඳහා මන්නාරම ප්‍රදේශයේ ඇති විභවය පිළිබඳව සොයා බැලූ අතර ජාතික අස්වැන්නට මනා දායකත්වයක් මෙම ප්‍රදේශයෙන් ලබාගත හැකි බව තහවුරු විය.

මේ හැර උතුරු පළාතේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව මුං, කව්පි, තල, සෝයා බෝංචි, රටකජු, කරවිල, වැටකොළු ආදිය වගා කිරීමටද පියවර ගැණින. මේ හැර වව්නියාවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තවේ පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් අදාල පර්යේෂණ සිදුකොට උතුරු ප්‍රදේශයට අවශ්‍ය නව ‍ක්ෂේත්‍ර බෝග, එළවළු, පලතුරු ප්‍රභේද බිහිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගැණින.

කලක සිට පැවති යුධමය වාතාවරණය නිසා අඩාලව තිබූ පරිපාලන කටයුතු හා ගැටළු වලට ඉක්මන් විසදුම් ලබාදීමට අධ්‍යක්ෂ ජනරාල්වරිය පොරොන්දු වූ අතර යථාකාලයේදී නව නිලධාරීන් පත්කර එවීමටද පියවර ගන්නා බව සඳහන් කළේය. යුද්ධය නිසා විනාශවී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා දීමට අවශ්‍ය කටයුතු කරන බවද දැන්වීය.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂකවරුන් වන කේ.ඊ. කරුණාතිලක, ආචාර්ය නිමල් දිසානායක, ආචාර්ය ලක්ෂ්මන් අමරසිංහ, ඩබ්. ගමගේ වික්‍රමසිංහ යන මහත්වරුද නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ජී.ඩබ්.ඩබ්. චිත්‍රාල්, එච්.බී.එන්.ඩබ්.එම්. අත්තනායක සහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න යන මහත්වරුන්ද සහභාගී විය.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට කාන්තාවක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා පළමු වතාවට අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්වී ඇත. ඇය ආචා‍ර්ය ඉන්ද්‍රා ජිනාදරී ද සොයිසා මිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විසිනව (29) වන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් පළමු කාන්තා අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ඉතිහාසයට එක්විය. 2009.06.12 වන දින පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී තම ධූරයේ වැඩ භාරගන්නා ලදි.


වී වගාවට හානිකර අයුරින් ව්‍යාප්තවන වල් ගොයම් පාලනය සඳහා ජාතික වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කරයි.

දැනට දේශීය වී වගාවට හානිවන අයුරින් ව්‍යාප්තවන වල් ගොයම් ලංකාවේ සෑම පළාතකින්ම හඳුනාගැනීමට හැකි වී ඇත. මෙය මඟින් අද ස්වයංපෝෂිත ඉලක්කය වෙත ලගා වෙමින් පවතින වී අස්වැන්නට බාධාවක් සිදු වේද යන්න පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධ්‍යයනයක් සිදු කරමින් පවතී.

මෙම වල් ගොයම් උවදුරු ‍අපේ රටට මෑතකදී ඇති වෙමින් පවතින ගැටළුවක් වුවද මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, කොරියාව වැනි රටවල බොහෝ කලක සිට තර්ජනාත්මකව වී වගාවට බලපෑම් සිදු කරන බවට වාර්තා වී ඇත. ලංකාවේ වල් ගොයම් පිළිබඳව 1992 වර්ෂයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථා‍නය හඳුනාගත් අතර එවක‍ට එය තර්ජනාත්මක නොවිණි. එහෙත් වර්ෂ 1995 අම්පාර, වර්ෂ 1998 මාතර, වර්ෂ 2000 පුත්තලම වැනි දිස්ත්‍රික්ක වලදී මෙය නැවත හානිකර අයුරින් හඳුනාගත්තද බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් හඳුන්වා දෙනු ලැබූ සාර්ථක පාලන ක්‍රමවේද ගොවි මහතුන් උපයෝගි කර ගැනීම නිසා බොහෝ දුරට තර්ජනාත්මක නොවන අයුරින් පාලනයකර ගැනිමට හැකි විය. එහෙත් මේ වන වි‍ට දේශගුණික වෙනස්වීම්, ගොවි මහතුන් සාර්ථක වගා ක්‍රම යොදා නොගැනීම වැනි කරුණු රාශියක් නිසා මෙම ප්‍රශ්ණ නැවතත් තර්ජනාත්මක අයුරින් හඳුනාගැනීමට හැකි වී ඇත.

එබැවින් වල් ගොයම් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කඩිනම් ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ. මේ සඳහා නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවා ජාතික වැඩසටහනක් ඇරඹීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහි පළමු අදියර ලෙස ගන්නොරුව සේවා සංස්කරණ ආයතනයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී. කුඩාගමගේ මහතතාගේ ප්‍රදානත්වයෙන් වැඩමුළුවක් පැවැත්විණි. මෙහිදී විවිධ ආයතනවල නිලධාරීන් දැණුවත් කරමින් ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු පියෙල කරන ලදි. ඒ අනුව ඉදිරි කාලයේදී කඩිනමින් ගොවීන්, කෘෂි නිලධාරීන් මේ පිළිබඳව දැණුවත් කිරීමටත්, ස්වයං බිත්තර වී භාවිතය හුරු කිරීමටත්, බීජ වැපිරීමට අමතරව වෙනත් බීජ සංස්ථාපන ක්‍රම හඳුන්වාදීමටත් තීරණය විය.

පැපොල් පිටි මකුණාගේ හානිය පාලනය කිරීම

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල විශේෂයෙන් පැපොල් ශාකවල බහුලව දක්නට ලැබෙන පත්‍ර නටුව මුල පත්‍රවල යටි පැත්තේ සහ ගෙඩිවල සුදු පැහැති පුලුන් තැවරුවාක් මෙන් දක්නට ලැබෙන කෘමි වර්ගය දැනට පැපොල් වගාවට හානිකරන පැපොල් පිටි මකුනා (Paracoccus marginatus) ලෙස හඳුනාගෙන ඇත.

ආක්‍රමනික කෘමියකු වන මෙම කෘමියා පැපොල් වගාවට අමතරව මඤ්ඤාක්කා, බටු, මිරිස් වැනි භෝග වලටද කොස්, දෙල් වැනි ශාක වලටද අරලිය, වද වැනි විවිධ මල් රාශියකට හා විසිතුරු මල් පැළවලටද හානි කරයි. විවිධ වල් පැළෑටිද ඇතුළුව තදබල ලෙස හානි කරන ශාක විශේෂ 60ක් පමණ ලෝකයේ හඳුනාගෙන ඇත.

පැපොල් පිටි මකුනා පැපොල් කොලවල යටි පැත්තේ නටුව හා ගෙඩි මත ඒකරාශී වී සිටුනු දැකිය හැක. සුහුඹුල් ගැහැණු සතා ලා කහ පැහැයෙන් යුතු අතර ශරීරය සුදු පැහැති ඉටි වැනි ශ්‍රාවයකින් වැසී ඇත. ශරීර දාරය වටා මිමි 3ක් පමණ දිග ඉටි සහිත කෙඳවලින් වටවී ඇත.

ගැහැණු සතුන් විසින් නිපදවන පුලුන් වැනි බිත්තර කෝෂ තුල බිත්තර රඳවා ඇති අතර තම ශරීරය මෙන් තුන් ගුණයක් පමණ විශාල බිත්තර කෝෂයෙන් සුහුඹුලා වැසීයයි. බිත්තර වලින් පිටවන පලමු ශිශු අවස්ථාව මෙම කෘමීන්ගේ පැතිරීම සිදු කරයි. මෙම කුඩා සතුන් වෙනත් ස්ථාන වලට ගමන් කිරීමෙන්, කෘමීන් ආසාදිත පත්‍ර සුළඟින් ගසාගෙන යාමෙන්, කුරුල්ලන් මඟින්, මිනිස් ක්‍රියාකාරකම් මඟින් සහ උපකරණ මඟින් වෙනත් ස්ථානවලට පැතිර යයි.

මෙම පිටි මකුනා අධික ලෙස යුෂ උරා බීම නිසා ශාක වර්ධනය දුර්වල වේ. තවද පත්‍ර හා ඵල මත තැන්පත් වන බහීස්‍රාවී ද්‍රව්‍ය මත කලු පුස් වර්ධනය වීමෙන් පත්‍ර හා ඵල කලු පැහැ වීමක්ද දක්නට ලැබේ. යුෂ උරා බීමේ දී ශාකවලට ඇතුලත් වන විෂ ද්‍රව්‍ය නිසා ලපටි පත්‍ර ඇඹරී විකෘති වී යනු දක්නට ලැබේ.

ඔබේ වගාවන් වලද මෙම කෘමියා සිටීදැයි නිතර පරීක්ෂාකර බලන්න. විශේෂයෙන් පැපොල්, මක්ඤ්ඤාක්කා, අරලිය වැනි ශාකවලට මෙම කෘමියා වඩා ප්‍රිය කරයි.

කෘමියා දක්නට ලැබුන වහාම තත්ත්වය උග්‍ර වීමට ප්‍රථම පහත සඳහන් පාලන ක්‍රම අනුගමනය කරන්න.

  • අධික ලෙස හානියට පාත්‍ර වී ඇති ශාක කොටස් කපා පුළුස්සා දමන්න.
  • ආසාදිත වගාවල, බිම වැටී ඇති කොල රොඩු එකතුකර පුළුස්සා දමන්න.
  • සාමාන්‍ය ලෙස ආසාදිත හාක වලට නලයකින් වේගවත් ජල පහරක් යොදා සතුන් සෝදා හරින්න.
  • මල් හා විසිතුරු පත්‍රික ශාක සඳහා සබන් කුඩු තේ හැදි 2ක් හා භුමි‍ තෙල් තේ හැදි එකක් ජලය ලිටරයකට මිශ්‍ර කර අත් ඉසිනයකින් යොදන්න.

භෝග වගාවන්හී තදබල ලෙස මෙම කෘමියා දක්නට ලැබේ නම් කෘමින්ගේ හානියට ලක්ව ඇති ශාක කොටස් වෙත පහත සඳහන් ලෙස කෘමි නාශක යොදන්න.

  • තයෝමෙතොක්සාම් 25% WS ග්‍රෑම් 1 - 2 / ජලය ලීටර් 1 දියකර පසේ තෙතමනය ඇති විට ගසේ මුල් ප්‍රදේශය තෙමෙන මේ ප්‍රමාණවත් පරිදි පසට යොදන්න. නැතහොත් එම මිශ්‍රණයම දියර ඉසිනයකින් කෘමීන් මතට ඉසින්න.

එසේ නැතහොත්

  • ඉමිඩක්ලෝප්‍රිඩ් 200 ග්‍රෑ/ලී SL මිලී 01 ජලය ලී 01 දියකර ඉසීම
  • ඇසිටැම්ප්‍රීඩ් 20% SP ග්‍රෑ 01 ජලය ලී 01 දියකර ඉසීම සුදුසුයි.
  • හානිය නැවත දක්නට ලැබේ නම් සුදුසු කාල අන්තරයකින් නැවත ඉහත ක්‍රම අනුගමනය කරන්න.

කෘමීන් ආසාදනය වී ඇති ශාක කොටස් සහ පැළ, ප්‍රදේශයෙන් පිටතට ගෙන යාමෙන් වලකින්න.

සුරතල් සතුන් නැහැවීමට ගන්නා ෂැම්පු වර්ග ජලයේ දියකර ඉසීමෙන් ගෙවතුවල මෙම කෘමියා පාලනය කළ හැක. ශාක කඳ වටේ ගම් ටේප්, ග්‍රීස් තැවරූ පොලිතීන් පටි වැනි දෙයක් එතීමෙන් කඳ දිගේ ඉහළට ගමන් කරන ශිශුවන් පාලනය කල හැක.

 

බීජ පනත දැන් ක්‍රියාත්මකයි
බීජ හා රෝපණ ද්‍රව්‍ය පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලයලත් නිලධාරින් පත් කරයි.

2003 අංක 22 දරණ බීජ පනත යටතේ වාණිජ මට්ටමින් බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්, ආනයනය කරන්නන් සහ බෙදාහරින්නන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, බීජ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී. කුඩාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩමුළුවේදී තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, රබර් පර්යේෂණ ආයතනය, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව යනාදි ආයතන විසින් උසස් ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ තත්ව පාලනය පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය කේ.ඒ. මෙත්තානන්ද මහතා විසින් 2003 අංක 22 දරණ බීජ පනත ක්‍රියාත්මක කිරීම සඳහා යොජනා කරන ලද නීති රෙගුලාසි පිළිබඳව දැනුවත් කරන ලදි. මෙම රෙගුලාසි වී ඇතුළු ක්ෂේත්‍ර බෝග, එළවළු, පළතුරු, වැවිලි බෝග සහ සුළු අපනයන බෝග සඳහාද බලපායි. දේශීය වශයෙන් නිපදවන බීජ වල මෙන්ම ආනයනය කරනු ලබන බීජ වල ගුණාත්මක තත්වය පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරන ලදි. පත්කරනු ලබන බලයලත් නිලධාරින්ගේ කාර්යභාරය පිළිබඳවද පැහැදිලි කරන ලදි.

වාණිජව බීජ නිෂ්පාදනය හා ආනයනය කිරීම් වල යෙදෙන්නන් සඳහා උපදෙස් ලබාදීම, පුහුණු වැඩමුළු පැවැත්වීම, මාධ්‍ය වැඩසටහන් මඟින් දැනුවත් කිරීම් සිදු කිරීම, බීජ හා රේපණ ද්‍රව්‍ය වල ගුණාත්මය පරීක්ෂා කරන මිනුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, බලයලත් නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම, යනාදිය සිදු කිරීමට තීරණය වූ අතර ආරම්භක පියවරක් ලෙස බලයලත් නිලධාරින් 20 දෙනෙකු සඳහා එදින පත්වීම් ලිපි ප්‍රධානය කෙරිණ.

2003 අංක 22 දරණ බීජ පනත ක්‍රියාත්මක කිරීමේ වර්තමාන තත්වය පිළිබඳව දැනුවත් කිරීම, පනතට අදාල රෙගුලාසි සකස්කර නිත්‍යානුකූල කටයුතු අවසන් කිරීම, බීජ නිපදවන්නන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීම, ජාතික බීජ සභාව පිහිටුවීම, බීජ නිපදවන්නන් සඳහා උපදෙස් පිලියෙල කිරීම, පුහුණු වැඩ සටහන් පිළියෙල කිරීම යනාදි කටයුතු පිළිබඳවද මෙහිදී තීරණ ගන්නා ලද අතර ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන ලදි.

දේශීය බීජ නිපදවීමට අවුරුදු දෙකක කාලයක් සඳහා ලියාපදිංචි වීමට රු 1000.00 ක මුදලක් ගෙවිය යුතු අතර බීජ ආනයනය කිරීමට අවුරුදු දෙකක කාලයක් සඳහා ලියාපදිංචි වීමට රු. 2500.00 ක මුදලක් ගෙවිය යුතු වේ. පලතුරු පැල තවාන් ලියාපදිංචිය සඳහා රු. 290.00 ක් සහ එක් පැලයක් සහතික කිරීම සඳහා රු.2.50 ක මුදලක් ගෙවිය යුතු බවත් ප්‍රකාශ කරන ලදි.

ඒටී 308 දිවයින පුරා වගාවට මාස 3 නව සම්බා වී ප්‍රභේදයක්

 

ලංකාවේ සම්බා සහල් සාමාන්‍ය පරිභෝජනයේදී අනෙක් සහල් වලට වඩා ගුණාත්මයෙන් ඉහල ලෙස සැලකේ. එහෙයින් මේවාට හොඳ ඉල්ලුමක් ඇති අතර ඉහළ මිලක්ද ලැබේ. දැනට ලංකාවේ නිර්දේශිත වී ප්‍රභේදයන් අතර මාස 3 සම්බා වර්ගයක් නොමැති අතර බී.ජී. 358, මාස 3 1/2 සම්බා වී ප්‍රභේදය ජනප්‍රියව වගා කෙරේ. බී.ජී. 358 සමහර ප්‍රදේශ වලදී ඇඳ වැටීමට ලක්වන අතර වර්ෂා පෝෂිත ප්‍රදේශ වලදී හා සුළු වාරි මාර්ග යටතේ නියඟයට පාත්‍රවන අවස්ථාද ඇත. මේ නිසා මාස 3 ඇඳ වැටීමට ඔරොත්තු දෙන සම්බා වී ප්‍රභේදයක අවශ්‍යතාවය සැහෙන කලක සිට පැවතිණ. මෙවැනි වී ප්‍රභේදයක් බිහිකිරීමට මෙයට පෙර ගත් උත්සහයන් අඩු අස්වනු හැකියාවක් හා ඇඳ වැටීමට ලක්වීම නිසා අසාර්ථක විය.

ඒටී 308 මාස 3 කෙටි රවුම් වී ප්‍රභේදය ඇඳ වැටීමට ඔරොත්තු දෙන අතර කොළපාළුව, බැක්ටීරියා, කොළ අංගමාරය, දුඹුරු පැල කීඩෑ හානිය ආදියට ඔරොත්තු දේ. තවද ගොක් මැසි හානියට හා කොපු අංගමාරය සඳහා කේෂ්ත්‍ර ප්‍රතිරෝධී තත්ත්වයෙන්ද යුතුය. සහල් සහ බත ඉතා ප්‍රියමනාප පෙනුමින් යුක්තය. ඒටී 308 අක්කරයට බුසල් 120 ක් පමණ සමාන්‍ය අස්වැන්නක් ලබා දෙන අතර නිරිවගාවකින් පොහොර හෝ වෙනත් යෙදවුම් වලින්තොරව ඉන් 25% පමණ අස්වැන්නක් ලබා ගත හැක.

මෙම වී ප්‍රභේදය ඇඟයීම සඳහා පර්යේෂණ කටයුතු කෙරනේ ඒටී 605 නමිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙමුහුම් පේර ප්‍රභේද 4ක් හඳුන්වා දෙයි

පේර ගෙවතු පළතුරක් ලෙස ජනප්‍රිය අතර මෑතක සිට වාණිජ මට්ටමේ පළතුරු බෝගයක් ලෙස ජනප්‍රිය වෙමින් පවතී. එසේම ව්‍යාපාරික වශයෙන් වගා කිරීමෙන් වැඩි ලාභයක් ලබා ගතහැක. පේර නැවුම් යුෂ, කොඩියල්, ජෑම්, ජෙලි ආදී විවිධ ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා යොදා ගත හැක. නව දෙමුහුම් ප්‍රභේද මනා රසයකින් සුවදකින් යුක්ත බැවින් එවැනි කර්මාන්ත සඳහා වඩාත් උචිතය.

නව දෙමුහුම් පේර ප්‍රභේද වන්නේ ජම්බෝ (Jumbo) , හොරණ පැණි රස (Horana Sweet) , රතු යෝධයා (Red Giant) සහ ලංකා ඇපල් (Lanka Apple) , නව දෙමුහුන් පේර ප්‍රභේද හෙක්ටයාරයකට ටොන් 4 ක පමණ ඉහල අස්වැන්නක් ලබාදෙන අතර ගෙඩි ප්‍රමාණයෙන් විශාලය. බීජ ප්‍රමාණය අඩුය. රෝග හා පළිබෝධ හානි වලට ඔරොත්තු දේ.

මෙම දෙමුහුන් පේර වගාවකින් හෙක්ටයාරයකට රු. 52200.00 ක ශුද්ධ ලාභයක් මුල් අස්වැන්නෙන් ලබාගත හැක. තුන්වන වසර වන විට රු. 174520.00 ක පමණ ශුද්ධ ලාභයක් ලබාගත හැක.

ජම්බො (Jumbo) සහ හොරණ පැණිරස (Horana Sweet) යන ප්‍රභේද වල ශාක මිටිය. ගෙඩි අඩු බීජ ප්‍රමාණයකින් යුක්තය මාංසල කොටස සුදු පැහැතිය. මනා රසයකින් යුක්තය කල් තබා ගැනීමේ හැකියාව වැඩිය. අපනයනය කිරීම සඳහා සුදුසුය.

රතු යෝධයා (Red Giant) සහ ලංකා ඇපල් (Lanka Apple) යන ප්‍රභේදවල ශාක තරමක් උසය. ඉදුණු විට පොත්ත කහ කොළ පාටය මාංසල කොටස රතු පාටය. ගෙඩි අඩු බීජ ප්‍රමාණයකින් යුක්තය පළතුරු යුෂ නිෂ්පාදනයට සුදුසුය.

Lanka Apple ප්‍රභේදය ගෙඩි කුණුවීමේ රෝගයට (Styler End Rot) ප්‍රතිරෝධී වේ. පත්‍ර කා දමන දළඹුවන්ගේ හානි වලට ඔරොත්තු දේ.

මීට අමතරව හෑස් (Hass) නමින් අලිපේර ප්‍රභේදයක් හඳුන්වා දෙන ලදි. ඉහළ පෝෂණ ගුණයකින් හා ඖෂධීය ගුණයකින් යුක්තය. මෙම ප්‍රභේදයේ ගෙඩි වල 10% පමණ මේද ප්‍රතිශතයක් අඩංගුය. එය අනෙකුත් ප්‍රභේද වලට වඩා ඉහල අගයක් වන අතර හදවත් රෝගීන් සඳහා වඩාත් ගුණදායකය. මෙම ප්‍රභේදයේ ගෙඩිවල පොත්ත ඝනකම්ය. පසු අස්වනු හානි අඩුය. විදේශීය වෙළඳපළෙහි විශාල ඉල්ලුමක් ඇත. අපනයනය සඳහා වඩාත් සුදුසුය. පළතුරු මැස්සාගේ හානියට ප්‍රතිරෝධීය.

සියළු බීජ පරිහරණය කරන්නන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ.

ශ්‍රී ලංකාව තුල සිටින සියළුම බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවන්නන් හා ඒ සම්බන්ධ ආයතන 2003 අංක 22 දරණ බීජ පනත යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනිවාර්ය කර ඇත. ජාතික බීජ සභාව මඟින් අනුමත ප්‍රමිතීන්ට අනුකූල නොවන බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිය තහනම් කෙරෙන මෙම පනත මඟින් කෘෂි ඵලදායීතාවය වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.

2003 අංක 22 දරණ බීජ පනතේ අටවන වගන්තියට අනුකූලව ශ්‍රී ලංකාව තුල පහත සඳහන් කුමන හෝ කාර්යක හෝ කාර්යයන්හි වාණිජ මට්ටමින් නිරත වන සියළුදෙනාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ කටයුතු භාර අධ්‍යක්ෂ වෙත ලියාපදිංචි විය යුතුය.

බීජ හා රෝපණ ද්‍රව්‍ය ආනයන කටයුතු වාණිජ මට්ටමේ දේශීය බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු, බීජ තොග හා සිල්ලර අලෙවි කටයුතු, බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදාහැරීම, බීජ සකස් කිරීම හා පැකට් කිරීම හා නැවත ඇසුරුම් කිරීම, බීජ අලෙවි නියෝජිත කටයුතු, පැල තවාන් කටයුතු, පැල බෙදාහැරීම හා අලෙවි කිරීමේ කටයුතු, ශ්‍රී ලංකා වෙළඳපොළට බීජ සහ රෝපණ ද්‍රව්‍ය සැපයීමට කුමන ආකාරයකින් හෝ කටයුතු කරන්නන් සියලු දෙනා ලියාපදිංචි විය යුතුය.

ලියාපදිංචි වීම සඳහා අයදුම්පත් සහ අදාල තොරතුරු ලිපිනය ලියූ 9*4 ප්‍රමාණයේ මුදුදර කවරයක් පහත සඳහන් ලිපිනයට එවීමෙන් හෝ ළඟම ඇති බීජ සහතික කිරීමේ සේවා කාර්යාලයට පැමිණ හෝ ලබාගත හැකිය.

අධ්‍යක්ෂ
බීජ සහතික කිරීමේ හා පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය
තැ.පෙ. 74, ගන්නොරුව
පේරාදෙණිය.

ලියාපදිංචි නොවී ශ්‍රී ලංකා වෙළඳපලට බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීමට හේතු වන කුමන ආකාරක හෝ වාණිජ මට්ටමේ කාර්යයන්හි නිරත වීම බීජ පනතේ 16 වැනි වගන්තියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.

වැඩිදුර තොරතුරු ඉහත ලිපිනයෙන් හෝ දුරකථන අංක 0812 - 2388044 / 2384226 හෝ ෆැක්ස් 081 - 2388077 මඟින් අධ්‍යක්, බීජ සහතික කිරීමේ සේවය අමතා ලබාගත හැක.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව දෙමුහුන් තක්කාලි ප්‍රභේදයක් හදුන්වා දෙයි.


වෙළදපලේ දෙමුහුන් තක්කාලි ප්‍රභේද ගණනාවක් තිබේ. ගොවීන් වැඩි අස්වැන්නක් සහ ආදායමක් අපේක්ෂාවෙන් එම තක්කාලි ප්‍රභේද වගා කරන අතර ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. තවද දෙමුහුන් තක්කාලි ප්‍රභේද වගා කිරීමේදී රෝග හා පළිබෝධ හානි වැඩිවීම ගොවියාට මුහුණපෑමට සිදුවන ප්‍රධාන ගැටළුවක් වේ. දැනට මහේෂි නමින් දෙමුහුන් තක්කාලි ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශකර තිබෙන අතර එය ගොවීන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර දේශීයව වැඩිදියුණු කරන ලද ඉහල ගුණාත්මයෙන් යුතු දෙමුහුන් තක්කාලි ප්‍රභේද සඳහා ගොවීන්ගේ වැඩි ඉල්ලුමක් ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම දේපාර්තමේන්තුව "භාතිය" නමින් නව දෙමුහුන් තක්කාලි ප්‍රභේදයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ. මෙම ප්‍රභේදය වැඩි අස්වැන්නක් ලබාදෙන උසස් ගුණාත්මයක ලක්ෂණ සහිතය. පොත්ත අනෙකුත් ප්‍රභේද වලට වඩා වැඩි ගුණාත්මයකින් යුක්ත වන අතර ඵලය රතු පැහැතිය. දිලිසෙනසුළු පෙනුමකින් යුක්තය. ඵලය පුපුරා නොයන අතර බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී වන අතර වෛරස් රෝග සඳහාද ඔරොත්තු දෙයි. ඵලය උසස් ගුණාත්මක ලක්ෂණ සහිත බැවින් ප්‍රවාහනයේදී සිදුවිය හැකි හානි අවම වේ. හෙක්ටයාරයකට ටොන් 60 ක පමණ අස්වැන්නක් ලබා ගතහැකි අතර කල්තබා ගැනීමේ හැකියාවද අනෙකුත් දෙමුහුන් තක්කාලි ප්‍රභේද වලට වඩා වැඩිය. එබැවින් මෙම දෙමුහුන් තක්කාලි ප්‍රභේදයක් ගොවීන් මෙන්ම පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මීට අමතරව වියළි කලාපයේ වගාව සඳහා යෝග්‍ය වන තක්කාලි ප්‍රභේදයක් "කේ.සී. 1" නමින් හදුන්වා දෙන ලදි. අධික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශ සඳහා සුදුසු වන මෙම ප්‍රභේදයේ ශාක සීමිත වර්ධනයක් සහිත බැවින් ආධාරක සිටුවීම අවශ්‍ය නොවේ. වැඩි අස්වැන්නක් ලබාදෙන මෙම ප්‍රභේදය විශාල ප්‍රමාණයේ ගෙඩි වලින් යුක්තය. ඉදුණු ගෙඩි තැඹිලි රතු පැහැති වන අතර පිපිරීමට ඔරොත්තු දෙයි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 42 ක් පමණ වේ. උතුරු හා නැගෙනහිර පළාත් සඳහා මෙම ප්‍රභේදය වඩාත් යෝග්‍ය වේ.

බාල පළිබෝධනාශකවලින් ප්‍රවේශම්වන්න

ව්‍යාජ ලෙස දේශීයව සකස් කළ වී වගාවේ ඉතාමත් ප්‍රචලිත ලෙස භාවිතා වන වල් නාශකයක් වියළි කළාපය තුළ බෙදා හරින බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලැබුණ තොරතුරක් මත පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් සහ වයඹ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී අදාල ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොලේ විකිණීමට ඇතිබව සොයා ගෙන තිබේ.

එමනිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති පළිබෝධනාශක පමණක් නියමිත ප්‍රමාණයට භාවිතා කරන ලෙසත්, ව්‍යාජ පළිබෝධනාශක මිලදී නොගන්නා ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

සාමාන්‍ය පළිබෝධනාශක (කෘෂිකාර්මික) බෙදා හරින සමාගම්වල කේෂ්ත්‍ර නිලධාරීන් සඳහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කර ඇත. ඒ අනුව මින් ඉදිරියට පළිබෝධනාශක අලෙවි සමාගම්වල බෙදා හරින්නන් විසින් ඔබ වෙළඳපොලට නිෂ්පාදන නිකුත් කිරීමේදී අදාල කේෂ්ත්‍ර හැදුනුම්පත ලබා ගෙන ඇති සමාගම් නියෝජිතයන්ගෙන් පමණක් සාමාන්‍ය පළිබෝධනාශක (කෘෂිකාර්මික) මිලදී ගන්නා ලෙස මෙයින් දැනුම් දෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දන්වා සිටි.

ව්‍යාජ පළිබෝධනාශක කේෂ්ත්‍රයට පැමිණීම වළකාලීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් මඟින් නිකුත් කරන මෙම විශේෂ හැදුනුම්පත නිකුත් කළ දින සිට වසර දෙකක කාලයකට පමණක් වලංගු වෙයි.

පළිබෝධනාශක වෙළද සහතික පත්‍ර රහිතව පවත්වා ගෙන යනු ලබන වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී දීප ව්‍යාප්ත වැඩසටහනක් මේ වන වන විටත් ක්‍රියාත්මක වන බැවින්, 2007 වසර සඳහා පළිබෝධනාශක වෙළඳ සහතික පත්‍රය ඔබ වෙළදසැලට මෙතෙක් ලබා ගෙන නොමැති නම්, එය වහාම ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටි.

මීට අමතරව අදාල පනතේ ඇතුලත් පහත සඳහන් වගන්ති/ නියෝග අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දන්වා සිටි.

  • විකිණීමට ඇති පළිබෝධනාශකවල සංයුතිය, ඇසුරුම හා ලේබලය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතියකින් තොරව වෙනස් නොකළ යුතු වූ බවට අදාල නියෝග
  • පළිබෝධනාශක නිෂ්පාදනයක් හා එය බහා ඇති බඳුන හා ඒ මත අලවා ඇති ලේබලය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අනුමත කර ඇත්නම් පමණක් රට තුළ වෙළඳාමට අදාල කටයුතු කළ හැකි බවට වූ නියෝග
  • බාල කළ හෝ නරක් වූ හෝ හානියට පත් පළිබෝධනාශක වෙළඳාම, ප්‍රවාහනය, ගබඩා කිරීම ආදී කටයුතු නොකළ යුතු බවට වූ අදාල නියෝග
  • ආහාර ද්‍රව්‍ය දූෂණය වන යම් ආකාරයකට පළිබෝධනාශක වෙළඳාම් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය ආදි කටයුතු නොකළ යුතු බවට වූ අදාල නියෝග
  • මහජනයා නොමඟ යවන සුළු ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවට වූ අදාල නියෝග

වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් සතියේ බදාදා දිනක ඔබ ප්‍රදේශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයෙන් හෝ කෘෂිකර්ම උපදේශකගෙන් විමසන්න. එසේ නැතහොත් පහත සඳහන් ලිපිනයෙන්ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්,
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය,
ගැටඹේ, පේරාදෙණිය.
දුරකථන - 081-2388135, 081-2388076

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with
Last Modified on - 10/03/2010
Hits on this page - 52166