දිනය - 2009.06.15
ස්ථානය - හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය ගරු හේමකුමාර නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වීය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නව පර්යේෂණ සොයාගැනීම් කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල හඳුන්වා දෙමින් ගොවි ජනතාව අතරට ගෙනයෑම මෙම සාකච්ඡාවේ අරමුණ බව අමාත්‍යාංශ ලේකම්තුමා සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කරමින් ප්‍රකාශ කරන ලදී.
පශ්චාත් කෘෂිකර්ම උපාධි ආයතනය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ජෛව ඉන්ධන, කාබනික ගොවිතැන, නව දෙමුහුම් බීජ නිෂ්පාදනය (මිරිස්, තක්කාලි බෝග) යන නව පර්යේෂණ ක්ෂේත්‍ර 03ක් පිළිබඳව එහි අධ්‍යක්ෂ විසින් කරුණු දැක්වීය.
ජෛව ඉන්ධන නිෂ්පාදනය:-
පිදුරු මඟින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරිමේ (බියුටනෝල්) ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලැබුණු පසුව එම තාක්ෂණය ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ විය. නිෂ්පාදනයේදී ඉතිරි වන ද්‍රව්‍ය ගොවිපළ පොහොරක් ලෙස යොදාගත හැකි වීම වාසියක් බව දක්වන ලදී.
උතුරු මැද පළාත තුල මෙම තාක්ෂණය යොදාගනිමින්, ජෛව ඉන්ධන කර්මාන්ත ශාලාවක් ඇතිකලහොත් ඉන්ධන ප්‍රවාහනයේදී ඇතිවන අධික වියදම අවම කරගෙන ගොවීන්ට සහනයක් ඇතිකල හැකි බව ගරු හේමකුමාර නානායක්කාර ඇමතිතුමා යෝජනා කරන ලදී.
කාබනික වගාව දියුණු කිරීම:-
කාබනික ගොවිතැන කරන ගොවීන් සඳහා සහතිකයක් ලබාදීමට යෝජනා විය. මොවුන්ගේ නිෂ්පාදන සඳහා වටිනාකමක් එක්කර (Value Addition) නිෂ්පාදන කාබනික නිෂ්පාදන ලෙස සහතිකයක් ලබාදී, අදාල ගොවියාගේ ඡායා රූපයක්ද සහිතව එම නිෂ්පාදන සුපිරි වෙළඳසැල්වලට අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමටත් යෝජනා විය. මේ සඳහා පශ්චාත් කෘෂිකර්ම උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨය ඒකාබද්ධ වී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බන ප්‍රකාශ විය.
(උක්ත කාර්යයේ සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා
අධ්‍යක්ෂ (ව්‍යවසාය සංවර්ධන හා පර්යේෂණ)
නව දෙමුහුම් බීජ නිෂ්පාදනය:-
නව දෙමුහුම් ප්‍රභේද (මිරිස්, තක්කාලි) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රභේද නිකුත් කිරීමේ කමිටුවට ඉදිරිපත් කරන ලෙසත්, පසුව පරීක්ෂණ වාර්තා මත ඒවා ගොවීන්ට නිර්දේශිත ප්‍රභේද ලෙස නිකුත් කළ හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කරන ලදී. ඉදිරි දිනෙක මේ පිලිබඳව ප්‍රභේද අභිජනන පර්යේෂකයන් හා සාකච්ඡා කිරීමටද තීරණය විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨ, පීඨාධිපති විසින් නව තාක්ෂණයන් 04ක් හඳුන්වාදෙන ලදී.
1. වී ගොවිතැන සඳහා TSP පොහොර වෙනුවට එප්පාවල රොක් පොස්පේට් භාවිතා කිරීම කාර්යක්ෂම කිරීම සඳහා බැක්ටීරියා විශේෂ 02 ක් මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇතිබව ප්‍රකාශ විය.
මෙහිදී TSP භාවිතය 50% කින් අඩුකර, ඒ වෙනුවට රොක් පොස්පේට් ආදේශ කර මෙම බැක්ටීරියාව මඟින් ආමුකුලනය කිරීම කලයුතු බවත්, මෙම ක්ෂුද්‍ර ජීවී මිශ්‍රණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදිය හැකි බවත්, එහිදී වැඩිදුර පර්යේෂණ මගින් තවදුරටත් තහවුරු වූ පසු නිර්දේශයන් ලෙස ගොවීන්ට හඳුන්වා දිය හැකි බව ප්‍රකාශ විය.
දැනට මෙය වියළි කලාපය සඳහා නිර්දේශ කල හැකි වුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එය අනෙකුත් පළාත් සඳහාද අත්හදා බැලීමට හැකි බවත්, මෙම මිශ්‍රණය පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ කමිටුවට ලිඛිත ඉල්ලීමක් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර අත්හදා බැලීම් සිදුකල හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන ලදී.
(සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා
අධ්‍යක්ෂ (කෘෂි ව්‍යවසාය සංවර්ධන හා පර්යේෂණ)
2. සුළු පරිමාණයේ වී වගා ක්ෂේත්‍ර සඳහා වල් පැළෑටි මර්ධන ක්‍රමයක් (ජපන් තාක්ෂණයක් ඇසුරින්) හඳුන්වා දී ඇති බවත්, මෙමඟින් වල් පැළෑටි පසට යට වීමත් නිසා පසට කාබනික ද්‍රව්‍ය ලැබෙන අතර වල් නාශක වලට යන වියදම රු. 2000/= කින් පමණ අඩු කරගත හැකි ක්‍රමයක් බව ප්‍රකාශ විය.
මෙම යන්ත්‍රය ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කිරීම සඳහා ලබා දිය හැකි බව ප්‍රකාශ විය.
3. අන්නාසි අපනයනකරුවන්ට/ දේශීය වගා කරුවන්ට ප්‍රශ්නයක්ව ඇති අන්නාසි වල මදය කුණුවීම (browing) වැලැක්වීම සඳහා අලුත් යෙදීමේ රටාවක් නව පර්යේෂණ ආශ්‍රීතව හඳුන්වා දී ඇති බව
දැනට අන්නාසි සඳහා පොහොර නිර්දේශයන්ට අමතරව, මූලික පොහොර සමඟ කැල්සියම් ඔක්සයිඩ් 15g ක් පළමුවද, ඊට පසු අවස්ථාවලදී මූලික පොහොර සමඟ කැල්සියම් ඔක්සයිඩි 7.5g ක් එකතු කිරීම කළ යුතුය.
මේ පිළිබඳව වාර්තාවක් අන්නාසි බෝග නායක, මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතාට යොමු කිරීමෙන් අදාල නිර්දේශය සමඟ කෘෂිකර්ම තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පසුව ගොවීන් සඳහා නව පොහොර නිර්දේශයන් ලෙස නිකුත් කිරීමට හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන ලදී.
(සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ මාකඳුර කෘෂිකර්ම පර්යේෂන සංවර්ධන ආයතනය)
4. ජලය අපිරිසිදු වී ඇති ප්‍රමාණය මැනීම සඳහා ඩිජිටල් දර්ශකයක් සහිත ඉතා නිරවද්‍ය, සූක්ෂම උපකරණයක් කෘෂි ඉන්ජිනේරු අංශය විසින් නිපදවා ඇති බවත්, මෙය අත්හදා බැලීමෙන් අදාල නිර්දේශ කිරීම් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ විය.
රුහුණු විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)
තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සමඟ ඒකාබද්ධ වී මාතර දිස්ත්‍රික්කය තුලින්, කෘෂිකර්ම පර්යේෂණ ආයනය සමඟ ඒකාබද්ධ වී ගාල්ල දිස්ත්‍රික්කය තුලින් බිම්මල් බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කර ගොවීන්ට නිෂ්පාදිත බීජ ලබා දීම සිදු කිරීමත්, දැනට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව බිම්මල් බීජ නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සිදුකරන බව ප්‍රකාශ විය.
මීට අමතරව, දකුණු පළාතේ සමෘද්ධි නිලධාරීන්/ කෘෂි ව්‍යාප්ති නිළධාරීන්ට තම කෘෂි දැනුම ලබාදීම, ගෙවතු වගා තරඟ පැවැත්වීම, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක් වී කුරුඳු පිළිබඳව පර්යේෂණ සිදුකරන බව ප්‍රකාශ කරන ලදී.
රජරට විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)
කාබනික පොහොර භාවිතා කර වියළි කලාපයේ වී ගොවිතැන පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, වී වගාවේ වල් මර්ධනය සඳහා ස්වභාවික ක්‍රම යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ, ක්ෂුද්‍ර පොහොර පිළිබඳ පර්යේෂණ, බිම්මල් බීජ නිෂ්පාදනය කර ගොවි ජනතාවට ලබා දීමේ වැඩසටහන්, ගොවීන්ට බිත්තර වී ලබාදීමේ වැඩසටහන්, සත්ව නිෂ්පාදනය පිළිබඳ දැනුම / තාක්ෂණය ගොවීන්ට ලබා දීම ආදී කටයුතු සිදුකරන බව ප්‍රකාශ කරන ලදී.
වයඹ විශ්ව විද්‍යාලය (කෘෂි පීඨය)
කජු සංස්ථාව සමඟ ඒකාබද්ධව කජු වගාව නැංවීම පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කිරීම, නව කජු ප්‍රභේද 6 ක් හඳුන්වා දීම, මල් / විසිතුරු පැළ පිළිබඳ පර්යේෂණ, පළිබෝධ මර්ධන ක්‍රම පිළිබඳ පර්යේෂණ, මිරිස් / ගර්කින් වගාකරුවන්ට නව ප්‍රභේද හඳුන්වාදීම ආදී කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කරන ලදී.
Cd බැරලෝහයේ බලපෑම පිලිබඳ පර්යේෂණ
උතුරු මැද වකුගඩු රෝගීන්ගේ මරණ වලට හේතුව කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ජලය එකතු වන අතු ගංගාවල කැඩ්මියම් බැරලෝහය අන්තර්ගත වීම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
- කැඩ්මියම් බැරලෝහයේ බලපෑම අවම කිරීම සඳහා ඒ මහතා විසින් පහන යෝජනා ඉදිරිපත් කරන ලදී
- TSP පොහොර වෙනුවට එප්පාවල රොක් පොස්පේට් පොහොර හෝ කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කරවීම, නැතහොත් TSP පොහොර ආනනයේදී ඉතා අඩු Cd% පොහොර ආනයනයට සම්මත නීති පැනවීම, කලයුතු බව පෙන්වා දෙන ලදී
- තන්තුමය ආහාර බහුල සමබල ආහාර වේලක් ගැනීම පිළිබඳ ජනතාවගේ ආහාර පරිභෝජන රටාව වෙනස් කිරීම. තන්තුමය ආහාර සමඟ ශරීරයේ ඇති කැඩ්මියම් මළ ද්‍රව්‍ය සමඟ බැහැර වන බවට ජනතාව දැනුවත් කිරීම
- වැව්වල රොන් මඩ ඉවත් කිරීම. එමඟින් වැව්වල ධාරිතාවයද වැඩිවීම අමතර වාසියකි
- උතුරුමැද පළාතේ ගොවීන් පාරිසරික ගොවිතැන් රටාවකට හුරු කිරීම පුරාණයේ පැවති තිරසාර ගොවිතැන් ක්‍රම, කෘෂි රසායන වෙනුවට කොහොඹ ඇට නිස්සාරණය රසායනික ද්‍රව්‍ය මිශ්‍රණය ආදී ස්වභාවික ක්‍රම ගොවීන්ට හුරු කරවීම, කොම්පෝස්ට් පොහොර භාවිතයට දිරි ගැන්වීම
- මහවැලි ගඟට ජලය එකතු වන ප්‍රදේශවල ජල දූෂණය අවම කිරීමට, පරිසර අමාත්‍යාංශය හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය එකතු වී යම් පරිපාලනමය නීති පද්ධතියක් ඇතිකර ගත යුතු බව යෝජනා විය
බෝග සඳහා TSP පොහොර වෙනුවට SSP පොහොර යෙදීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවට පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇති බව ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා කරුණු දක්වන ලදී. තවද, එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිත කරගෙන පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇති වීමේ වැදගත්කමද තව දුරටත් අවධාරණය කරන ලදී.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම නව පර්යේෂණ ආශ්‍රිත නව දැනුම ලබාදීම තුලින් කෘෂිකර්ම ක්ෂේත්‍රය සිදුකරන මෙහෙවර පිළිබඳ ස්තූතිවන්ත වන බවට ගරු අමාත්‍යවරුන් ප්‍රකාශ කරන ලදී.
ගොවීන්ගේ ඉල්ලුම සපුරා දීමට බීජ ලබාදීමේ නොහැකි තත්ත්වයක් දැනට උද්ගතව පවතින බවත්, බීජවල පැළවීමේ ප්‍රතිශතය හා අස්වැන්න අඩුවීමේ ගැටළු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දායකත්වය ඉදිරියේදී අපේක්ෂා කරන බවත් ගරු කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.
ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ජෛව ඉන්ධන නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ ආශ්‍රිත නිල වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී. එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව නව පොහොර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ගරු අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.
කෘෂි රසායනික ද්‍රව්‍යවල අධික මිල ගොවීන්ට ප්‍රබල ගැටළුවක් වී ඇති බවත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ ආශ්‍රිතව මේ පිළිබඳව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග, අදහස් හා විසඳුම් පිළිබඳව සොයා බලන ලෙසට ගරු අමාත්‍යතුමා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.
(සම්බන්ධීකරණ වගකීම - ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා
අධ්‍යක්ෂ (කෘෂි ව්‍යවසාය සංවර්ධන හා පර්යේෂණ)
වෙනත් කරුණු:-
විශ්ව විද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර පර්යේෂණයන් හුවමාරු කර ගැනීම සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් සකස්විය යුතු බවටත්, අදාල පර්යේෂකයන්ට ඒ සඳහා වැටුපට අමතරව වෙනත් දීමනාවක් ලබා දිය යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් විය. මේ පිළිබඳව දෙපාර්ශවය එකතු වී, සාකච්ඡා කර අදාල යෝජනාවලීන් වාර්තාවක් ලෙස සකස් කර භාණ්ඩාගාරයට යොමු කිරීම සඳහා අමාත්‍යාංශයට යොමු කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී.
මෙහිදී විශ්ව විද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්ට අමතරව, පෞද්. අංශයේ පර්යේෂකයන්ද යන ත්‍රීපාර්ශවය එක් කර මණ්ඩපයක් සාදා මාස 03 කට වරක්වත් රැස් වී තම පර්යේෂණ අත්දැකීම් / දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් පිළිබඳව ගරු කෘෂිකර්ම අමාත්‍ය හේම කුමාර නානායක්කාර මැතිතුමා විසින් යෝජනා කරන ලදී.
- පැපොල් පිටි මකුණා මර්දනයට යොදාගත් පරපෝෂිතයා මඟින් පිටි මකුණා මර්දනය වීමට මාස 06 ක් පමණ ගතවන බවට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙන ලදී. අදාල පර්යේෂකයා මුදාහරින ලද ප්‍රදේශවල පිටි මකුණා නිසි පරිදි මර්දනය වී ඇද්ද යන්න පිළිබඳ ප්‍රගතිය ඇගයීම සඳහා විශ්ව විද්‍යාල සිසුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් යෝජනා කරන ලදී.
මෙම පර්යේෂකයා ස්ථාන කිහිපයක අභිජනනය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වන බැවින්, පරපෝෂිතයෝ අභිජනන කටයුතු සඳහා විශ්ව විද්‍යාලවල සහය ලබාගැනීමට තීරණය විය.
ජූනි 22 දා ආරම්භ කරන " ජාතික ආහාර සතිය " සඳහා විශ්ව විද්‍යාලවල සහයෝගය ලබාදෙන ලෙස ගරු අමාත්‍යතුමා ඉල්ලීමක් කරන ලදී.
- මොරගහක්නද ජලාශයේ ඉදිකිරීම් ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා සහභාගී වන ලෙස,
මෙම සාකච්ඡාවට සහභාගී වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අනෙකුත් දෙපාර්තමේන්තු ආයතනවල ප්‍රධානීන් හා නිලධාරීන්ට ගරු කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමා විසින් විවෘත ආරාධනාවක් කරන ලදී.