www.agridept.gov.lk

YOU ARE HERE: Home බෝග වගා නිර්දේශ
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල



මැංගුස්
ගාසිනියා මැංගුස්ටානා

Fruit_mangosten1

හැදින්වීම

Garcinia mangostana L . යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මැංගුස් ඉතා රසවත් පළතුරක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි සම්භවය මැලේ අර්ධද්වීපය වන අතර තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ කාම්බෝජය යන රටවල විශාල වශයෙන් වගා කෙරේ. ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට මැංගුස් වගාව ව්‍යාප්ත වුයේ පසුගිය සියවස් දෙක තුල යයි විශ්වාස කෙරේ. බෝගයේ වර්ධනය සඳහා විශේෂිත වු දේශගුණික හා පාරිසරික සාධක අවශ්‍යවන බැවින් මෙය වගාකිරීම ලංකාවේ තෙත් කලාපයට පමණක් සීමා වී ඇත. ජාත්‍යන්තර වෙළදපොලේ මැංගුස් ජනප්‍රිය වෙමින් පවතින බැවින් බොහෝ රටවල් ව්‍යාපාරික මට්‍ටමින් මැංගුස් නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කළුතර, රත්නපුර, ගාල්ල, ගම්පහ, කොළඹ, මහනුවර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක හත තුල බහුල වශයෙන් ගෙවතු වගාවක් ලෙස දක්නට ලැබෙන අතර මහා පරිමාණයේ වගාවන් දක්නට ලැබේ.

පෝෂණ අගය

මදය ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය
පෝෂක
ප්‍රමාණය
ජලය 84.9 ග්‍රෑම්
ශක්තිය 60.0 කි.කැ.
ප්‍රෝටීන්
0.5 ග්‍රෑම්
මේදය 
0.1 ග්‍රෑම්
කාබෝහයිට්‍රේට් 14.3 ග්‍රෑම්
කැලිසියම්  
10.0 මිලි ග්‍රෑම්
පොස්පරස්
20.0 මිලි ග්‍රෑම්
යකඩ 0.2 මිලි ග්‍රෑම්

ප්‍රභේද
ඵලවල බීජ හටගන්නේ මල් පරාගනය වී ඩිම්බ සංසේචනය වීමකින් තොරවය. එම නිසා මැංගුස් බෝගයේ විවිධ ප්‍රභේද නොමැත.

නමුත් උද්භිද විද්‍යාත්මක ලක්ෂණ වල වෙනස්කම් පවතින ශාක සොයා ගැනීමට පුළුවන.

‍‍දේශගුණික අවශ්‍යතා
වසර පුරා පැතිරුණු මි.මි 1500 - 2000 පමණ වර්ෂාපතනයක් වගාව සඳහා අවශ්‍යය. වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 25o - 28o පමණද, ආර්ද්‍රතාවය 75 - 80% පමණ තිබීමද වැදගත්ය. පාරසරික උෂ්ණත්වය අධික වු විට පත්‍ර පිළිස්සීම සිදුවේ.

පස

කාබනික ද්‍රව්‍ය අඩංගු හොදින් ජලවහනය වන මීටර් 1 1/2 - 2 පමණ වු ගැඹුරු පසක් වගාව සඳහා වඩා සුදුසුය. වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ජලය ආශ්‍රිතව ඇති ඉඩම් වලය.

රෝපණ ද්‍රව්‍ය
ප්‍රධාන ලෙස සිටුවීමට ගන්නේ බීජ පැළ වේ. අක්කර 01 කට අවශ්‍ය පැළ නිපදවා ගැනීමට ගෙඩි 75 - 100 ප්‍රමාණයක් අවශ්‍ය වේ.

බීජ පැළ නිපදවා ගැනීම

පැළ නිපදවා ගැනීම සඳහා අවශ්‍ය බීජ ලබාගත යුත්තේ ප්‍රමාණයෙන් කුඩා බීජ ඇති මදයට කිරි ගැලීමක් සිදු නොවන, පැණි රසයෙන් වැඩි, ගෙඩි හට ගන්නා ගස් වලිනි. එය තෝරා ගනු ලබන ගසෙහි ගෙඩිවල ප්‍රමාණයද විශාල විය යුතුයි.

තෝරා ගත් ගෙඩි වලින් බීජ වෙන් කර ගන්න. බීජ වටා ඇති පැණි රස මාංසල කොටස ඉවත් වන පරිදි හොදින් සෝදා ගන්න. මෙහිදී බීජයට හානියක් නොවීමට ද වග බලා ගත යුතුය. සෝදා ගත් විගස කැප්ටාන් හෝ බෙනොමිල් වැනි දිලීර නාශක ද්‍රාවණයක බීජ ගිල්වා තවාන් කර ගන්න. (මේ සඳහා කැප්ටාන් ග්‍රෑම් 10 ක් හෝ බෙනොමිල් ග්‍රෑම් 01 ක් ජලය ලීටරයක මිශ්‍ර කරගන්න)

ප්‍රාථමික තවාන

බීජ පළමුව පැළ කර ගත යුත්තේ වැලි තවානක හෝ සෙ.මි. 15 ක පමණ ඝනකමට කොහු බත් අතුරා සකස් කරගත් තවානක හෝ කුඩා පොලිතින් මළුවලය.

කොහු බත් හෝ වැලි තවාන්වල බීජ සිටුවිය යුත්තේ එකිනෙකට සෙ.මි 10 - 15 පමණ දුරකිනි.

වැලි තවානක බීජ සිටුවන විට තෙතමනය මැනවින් පවත්වා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න. සති 3 - 4 කින් පසු බීජ පැළ වේ.

පොලිතින් බඳුන්වල බීජ සිටුවන්නේ විශ්කම්භයක සෙ.මි 10 පමණ වූ සෙ.මි 15 පමණ උස ඇති පරිදි බදුන් සකසා ගන්න.

මතුපිට පස්, දිරාපත් වු කාබනික පොහොර හා වැලි සම ප්‍රමාණ වලින් ගෙන සකසා ගත් මිශ්‍රණයෙන් බඳුන් පුරවා බීජ සිටුවන්න.

කොහුබත් හා වැලි තවාන් වල ඇති පැළ වල පළමු පත්‍ර දෙක මේරීමට ප්‍රථමද කුඩා පොලිතින් බඳුන්වල ඇති පැළ මාස 4 - 6 ක කාලයකට පසුවද ද්විතීක තවානට මාරු කරන්න.

ද්විතීක තවාන

මේ සඳහා විශ්කම්භය 15 සහ උස සෙ.මි. 30 පමණ වු පොලිතීන් බඳුන් සකසා ගන්න. මතුපිට පස්, දිරාපත් වු කාබනික පොහොර සහ වැලි 1 : 2 : 1 අනුපාතයට කලවම් කර සාදාගත් මිශ්‍රණයෙන් බඳුන් පුරවන්න. ප්‍රාථමික තවානෙන් වැලි සහ පස් කුට්ටියක් සමඟ ගලවා ගත් පැළ මුල් වලට හානි නොවන පරිදි ප්‍රවේශමෙන් මෙම බඳුන්වල සිටුවන්න.

මෙසේ සිටුවා අවුරුද්දකට පමණ පසුව ක්ෂේත්‍රයෙහි සිටුවිය හැකි ප්‍රමාණයට පැල වර්ධනය වේ. මෙහිදී මූල වර්ධනයට හානි නොවීම සඳහා වැඩි උසකින් පොලිතින් බඳුන් සකස් කර ගන්න.

තනි ග්‍රාහක බද්ධ පැල නිපදවා ගැනීම

දුර්වල වර්ධනයක් ඇති නිසා ගෙවතු වගා වලට පමණක් සුදුසු වේ. බද්ධ කිරීම සඳහා සෙ.මි 30 පමණ උස වසරක් පමණ වයසැති පැළ බද්ධ පැළ නිපදවීමට යොදා ගත හැක.

පොලිතින් බඳුන්වල සිටුවාගත් පැළ බද්ධ කිරිම සඳහා ග්‍රාහක ලෙස යොදා ගන්නේ නම් බඳුනෙහි ගැඹුර සෙ.මි. 45 (අඩි 1 1/2 ) පමණ වීම වඩාත් සුදුසුය. තවද කදෙහි වට ප්‍රමාණය මි. මි. 17 - 18 පමණ විය යුතුය. මේ සඳහා යොදා ගන්නේ කූ‍‍ඤ්ඤ බද්ධ ක්‍රමයයි. බද්ධ කිරීම සඳහා ගන්නා අනුජය උසස් අස්වනු දෙන සහ මධ්‍යස්ථ ගෙඩි හට ගන්නා ගසකින් තෝරා ගන්න. වර්ෂා කාලය පටන් ගැනිමත් සමඟ අතුවල අග්‍රස්ථ අංකුර මෝදු වන විට සුසුසු අතු කැබලි ගත යුතුය.

අනුජය ලෙස යොදා ගන්නා අතු කැබලි කදෙහි ප්‍රමාණයට සමාන ඝණකමක් සහිත ප්‍රදේශය ගැටයක් අසලින් ග්‍රාහකයේ කඳ කැපිය යුතුය. ඉන් පසු කඳ කැපු ස්ථානයේ සිට සෙ.මි 1 1/2 - 2 පමණ ගැඹුර ඇති පැල්මක් යොදන්න.

කැපුමට ආසන්නයේම ඇති පත්‍ර වල 2/3 ක පමණ කපා ඉවත් කරන්න. අග්‍රස්ථ අංකුරය සහිත අනුජ කැබලි සෙ.මි. 6 - 8 පමණ දිගට කපන්න. එහි පහල කෙලවර සෙ. මි 1 1/2 - 2 පමණ දිග කූඤ්ඤයක ආකාරයට කපා එහිද පත්‍ර 2/3 ක ප්‍රමාණයක් කපා ඉවත් කරන්න.

මෙලෙස සකසාගත් අනුජය ග්‍රාහකයේ පැලුම තුලට ප්‍රවේශමෙන් ඇතුල් කර පොලිතින් පටි වලින් තදින් වෙලන්න.

අවසානයේ අනුජය සහ බද්ධ සන්ධිය ආවරණය වන සේ පොලිතින් උරයකින් වසන්න. මෙය සෘජුව තබා ගැනීමට පැළය අසල ආධාරකයක් ලෙස කුඩා ලී කෝටුවක් සිටුවන්න. පසුව එය බද්ධ සන්ධියට පහලින් ගැටගැසීම කල හැක. සති 5 - 6 කදි පොලිතීන් ආවරණය ඉවත් කල හැක. බද්ධය සාර්ථක නම් අනුජය කොල පාටින් දිස් වේ.

බද්ධ පැල වල මුල් කාලයේම මල් අංකුර හටලගනී ඒවා කඩා ඉවත් කරන්න. මනාව වැඩුණු පත්‍ර වියලා හොදින් ඇතිවන තුරු (අවු. 4 - 5 දක්වා) එම මල් වලින් ගෙඩි හටගැනීම වලක්වන්න.

ද්වී ග්‍රාහක බද්ධය හා ද්වී මූල පද්ධති සහිත බීජ පැල නිපදවා ගැනීම
ග්‍රාහී බීජ පැල සඳහා සමීප බද්ධය

මැංගුස් වල මූල පද්ධතිය දුර්වල නිසා අමතර මූල පද්ධතියක් ලබාදීම මෙයින් සිදුවේ.

  • එකම ප්‍රමාණයේ බීජ පැල 2ක් තෝරාගන්න.
  • එක් බීජ පැලයක සෙ.මී. 15ක් උසින් අග්‍රස්ථය කපා ඉවත්කරන්න.
  • එහි කෙළවරින් (රූපසටහනේ පරිදි) සෙන්ටිමීටර් 3 - 4 දිගට කැපුමක් යොදාගන්න.
  • අනෙක් බීජ පැලයේද සෙන්ටිමීටර් 12 පමණ උසින් සෙන්ටිමීටර් 3 - 4 ක කැපුමක් යොදන්න.
  • ඉන්පසු රූපසටහනේ ලෙස ශාක 2 සමීපකර බද්ධ පටි වලින් වෙලාගන්න.
  • ග්‍රාහක බඳුන් 2 එකට තබා කොහු ලණුවකින් බදින්න.
  • නොතෙමෙන ස්ථානයක සති 4ක් පමණ තබා ඉන්පසු බද්ධ පටි ඉවත්කරගත හැක.
  • මෙය සමීප බද්ධයකි.
  • ද්වී ග්‍රාහී මැංගුස් බීජ පැලයක් මෙයින් ලබාගත හැක.

ද්වී ග්‍රාහී බද්ධය
  • ඉහත ආකාරයට සමීප බද්ධය සිදුකල පසු එම බීජ පැලයේ සෙන්ටිමීටර් 28 - 30 පමණ උසින් සිරස්ව කපාගන්න.
  • අග්‍රස්ථයෙන් සෙන්ටිමීටර් 5 - 6 තරම් ගැඹුරට තිරස්ව පැල්මක් යොදා තෝරාගත් මව් ගසක රිකිල්ලක් කූඤ්ඤ හැඩයට කපා කූඤ්ඤ බද්ධය සිදුකරන්න.
  • ද්වී ග්‍රාහී බද්ධ මැංගුස් පැල යොදා ගැනීමේදී මෙම බද්ධ ක්‍රම එකවර සිදු කරයි. ‍
  • ප්‍රොපගේටර් තුල සති 6ක පමණ කාලයක් තැබීය යුතුය.
  • සති 12 කට පමණ පසු බද්ධ පටි ඉවත් කළ හැක.

පැළ සිටුවන පරතරය
මීටර් 10 x 10 පරතරයට

පැළ අවශ්‍යතාවය
අක්කරයකට පැළ 40 ක් (හෙක්ටයාරයකට පැල 100 ක්) අවශ්‍ය වේ.

ක්ෂේත්‍රයේ සිටුවීම
නියමිත පරතර වලට සෙ.මි. 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් සකසා එයට කොමිපෝස්ට් හා මතුපිට පස් පුරවා ගන්න. වර්ෂාව ආරම්භ වීමත් සමඟ පැළ සිටුවන්න. පැළ සිටුවා ආධාරකයක්ද සිටුවන්න.

සෙවන සැපයීම - (මුල් අවුරුදු 2 තුලදී)
පැළයේ අග්‍රස්ථයේ වර්ධනයට බාධා නොවන ලෙස පැලයට වසර දෙකක් පමණ වන තුරු අනිවාර්යයෙන්ම සෙවණ සපයන්න.

ජල සම්පාදනය
සිටුවා වසර 5 තුලදී දිගු වියළි කාළගුණයක් පවතින විට පැළ වලට ජලය සපයන්න.

පොහොර භාවිතය

යොදන ආකාරය යොදන කාලය        
වර්ගය ප්‍රමාණය
හුණු යෙදීම සිටුවීමට සති 2 පෙර ඩොලමයිටි ග්‍රෑම් 500 එක් වලකට
කාබනික පොහොර සිටුවීමට සති 2 පෙර
කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 එක් වලකට
රසායනික පොහොර වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්
පෝෂක ප්‍රමාණය
පැළයකට ග්‍රෑම්         
යුරියා රොක්
පොස්පේට්
මියුරියේට්
ඔෆ් පොටෑෂ්
කීසරයිට් N        
P2 O5         
K2 O          
MgO       
සිටුවීමට පෙර 120 225 100 - 55 63 60 -
පළමු අවු. සෑම මාස 4 වරක් 40 75 40 - 19 21 24 -
දෙවන අවු. සෑම මාස 4 වරක 80 150 80 - 37 42 48 -
තෙවන අවු. සෑම මාස 4 වරක
110 225 110 - 50 63 66 -
හතරවන අවු. සෑම මාස 4 වරක
160 300 140 - 73 84 84 -
පස්වන අවු. සෑම මාස 4 වරක
200 345 175 - 92 97 105 -
ඵලදරන ගස් සඳහා
ප්‍රධාන අස්වැන්නෙන් පසු මාස 1 - 2 450 550 260 100 207 126 156 24
ප්‍රධාන මල් පිපීමෙන් පසු මාස 1 - 2 පසු 150 550 260 - 69 126 156 -

වල් පැලෑටි පාලනය

ගසෙහි සිට මීටරයක් පමණ ප්‍රදේශයක ගස් වටා වසරකට දෙවරක් වල් පැලෑටි පාලනය කරන්න. පස් විශාල වු විට වල් මර්ධනය අවශ්‍ය නොවේ.

ගස් පුහුණු කිරීම

දිය රිකිලි හා මැරුණු අතු කපා ඉවත් කරන්න. විශේෂයන් ගෙවතුවල ඇති ගස් අවට ඇති ඉඩ ප්‍රමාණය අනුව අතු විහිදීමට ඉඩ හරිණු ලබන දුර පාලනය කරන්න. අග්‍රස්ථය කපා දැමීමෙන් ගස වැඩෙන උසද පාලනය කිරීමට පුළුවන.

කෘමි හා රෝග පාලනය
කොරපොතු කෘමීන්
තවානේ ඇති පැළ සඳහා මෙම කෘමියා විසින් බලවත් ලෙස හානි පමුණුවයි.

පාලනය

මේ සඳහා ඩයිමෙතොඒට් වැනි කෘමිනාශක භාවිතා කල හැක.

කොළ කන දළඹුවන්

දළු දමන අවස්ථාවේදී කොළ කන දළඹුවන් සඳහා පෙන්තියෝන් වැනි කෘමි නාශකයක් භාවිතා කරන්න.

කොළ පුල්ලි රෝගය
රතු හෝ දුඹුරු පුල්ලි පත්‍රවල ඇතිවේ. හානිය උග්‍ර අවස්ථාවේදී මුළු පත්‍රය පුරාම පුල්ලි පැතිරී යයි.

මේ සඳහා දිලීර නාශකයක් භාවිතා කිරීමෙන් රෝගය පාලනය කලහැක.

ගම්බෝජ් රෝගය (කිරි වෑස්සීම)

මෙහිදී ගෙඩියේ පිට පොත්තේ සහ ඇතුලත මදය වෙත කහ පැහැති කිරි වෑස්සේ. මේ නිසා ගෙඩි ආහාරයට ගත නොහැකි තත්වයට පත්වේ.

මේ තත්වය පසේ තෙතමනය, හදිසි වෙනස්වීම් වලට ලක්වීම, දුර්වල පෝෂණය හා වෙනත් කායික හේතුමත සිදුවේ.

පාලනය
  • ක්‍රමානුකුලව පොහොර යෙදීම
  • නියං කාල වලදී වසුනක් යෙදීම

අස්වැන්න නෙලීම
ගෙඩියේ වර්ණය ක්‍රමයෙන් තද දුඹුරු පැහැති රතු පැහැයට හැරෙන විට නෙලන්න. නටුව සමඟ ගෙඩි නෙලා ගත යුතුය.

නෙලා ගැනිමට සුදුසු අවස්ථාවේ ඇති ගෙඩිවල නටුව අත්තට සවි වී ඇති ස්ථානයෙන් පහසුවෙන් ගැලවේ. එවිට ගෙඩිය තුලට කිරි වෑස්සේ.

අස්වැන්න

බීජ පැළයක් සිටුවා අවුරුදු 10 - 12 ක් පමණ ගත වු පසු මුල් අවස්ථාවේදී අස්වැන්න වශයෙන් වසරකට ගෙඩි 20 - 30 පමණ ලබා ගත හැක. හොදින් වැඩුණු ගසකින් වසරකට ගෙඩි 500 - 1500 පමණ ලබා ගැනීමට පුළුවන.

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1863497

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.